රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු හෙළි කිරීමට සැලසුමක් පවතින බවට යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ප්‍රකාශ කර පැය 6ක කාලයක් ගතවීමටත් මත්තෙන් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ ප්‍රධානීන් තිදෙනාගේ නම් හෙළිදරව් කරමින් ඔවුන් පසුගියදා සිදු වූ සිදුවීම් පිටුපස සිටින බවට දැඩි චෝදනාවක් එල්ල කළේය.
ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී හා ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකගේ නම් සඳහන් කරමින් ඔවුන් තිදෙනා එම සිදුවීම් පිටුපස සිටින බවත් අන්තවාදී ත්රස්තවාදීන්ට උදව් කරන බවටත් චෝදනා කළේය.
රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව රටට හෙළි නොකළ යුතු වුවත්, රාජ්‍ය බුද්ධි අංශයට වී බොදුබල සේනාවට හා සිංහල රාවයට සහයෝගය දක්වමින් රට තුළ ජාතිවාදී ගිනිදැල් දැල්වීමට කටයුතු කරන සියලුම බුද්ධි අංශ නිලධාරීන් රටට හෙළිකිරීම මහජන නියෝජිතයෙකු වශයෙන් තමාගේ වගකීමක් බවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ (24 දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, අලුත්ගමදී සිදුවූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ක්ෂණිකව මුදාහැරීමට බලපෑම් කර තිබෙන්නේද මෙම නිලධාරීන් බවයි.