සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා නීත්යා නුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය හෙටින් (12දා) දක්වා ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු සියලු නිලයන් සඳහා මෙය අදාළ වේ.
පොදු සමා කාලය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර, ඊයේ(10දා) වන විට අවසන් වූ මාසයක කාලය තුළ ත්‍රිවිධ හමුදාවටම අයත් සාමාජිකයන් 14,297 නීත්යා නුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇත.
ඒ අනුව සක්‍රීය සේවයෙන් නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට නොපැමිණ සිටි යුද හමුදාවේ සාමාජිකයන් 12,998 ක්, නාවික හමුදා සාමාජිකයන් 755 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 544 ක් මේ වනවිට සිය නිශ්කාශන කටයුතු නිමකොට නීත්යා නුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා 'අද'ට පැවසීය.
සේවයට වාර්තා නොකර භාර නොවී සිටි හමුදා සාමජිකයන්ට ඉදිරි දින දෙක ඇතුළත භාරවන ලෙසත්, යුද හමුදා සාමාජිකයන් නම් තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය, නාවික හමුදා සාමාජිකයන් නම් වැලිසර නාවික කඳවුරට ඉඳුරාම රපෝර්තු කිරීම සහ ගුවන් හමුදා සාමාජිකයන් නම් කොළඹ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමේ හැකියාව පවතින බවද ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය.
චාමර සම්පත්/ නිදර්ශනී වික්‍රමසිංහ