හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධ රජයේ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිර්දේශයක් හේතුවෙන් එය නැවත වරක් සාකච්ඡා කිරීමට සිදුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබාගෙන ඇති ණය ගෙවාගැනීමට නොහැකි වීම හේතුවෙන් හම්බන්තොට වරායේ 80%ක අයිතිය චීන සමාගමකට පැවරීමටත්, 20% ක කටයුතු රජය සතුව පවත්වා ගැනීමටත් වන පරිදි කැබිනට් යෝජනාවක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය මගින් මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
සාමාන්‍යයෙන් වරායක මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට ලබාදීමේදී සම්පූර්ණ වරායම ලබානොදෙන අතර, පර්යන්ත පමණක් මෙහෙයුම් කටයුතු සඳහා ලබාදෙයි. වරාය සම්බන්ධ ජාත්‍යන්තර නීතිරීති අනුවද එය එසේ සිදු වෙයි. නමුත් හම්බන්තොට වරායේ පර්යන්ත ලබාදෙනු වෙනුවට සම්පූර්ණ වරායම චීන සමාගමකට ලබාදීම හරහා වරාය අධිකාරියට සිදුවන පාඩුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඊයේ (08දා) මෙලෙස කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ඒ යටතේ වරායේ අධිකාරියට සිදුවන මූල්‍ය අවාසිය මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳවඳ නිරීක්ෂණ ඇතුළත් කර ඇතැයි සඳහන් වේ.
'තෝරාගන්නා ආයෝජකයා සහ අදාළ කොන්දේසි පිළිබඳ වරාය සහ නාවික අමාත්‍යාංශය විසින් තවදුරටත් අධ්‍යයනය කර, එම නියාමනයන් හා කොන්දේසි ශ්‍රී ලංකා වරාය අධිකාරියට වාසිදායක වන බව තහවුරු කරගත යුතුය. අදාළ ගිවිසුම්වලට එළැඹීමේදී නීතිමය නිශ්කාෂණයන්ද ලබාගැනීම සුදුසුය' යනුවෙන්ද අදාළ නිරීක්ෂණයේ වැඩිදුරටත් දක්වා තිබේ.
ඒ අනුව හම්බන්තොට වරාය පවරා දීම සම්බන්ධ ගිවිසුම් වෙත එළඹීමට සාකච්ඡා කරගෙන ඇති දිනවලදී එය සිදුකිරීමට නොහැකි වන අතර, ඒ පිළිබඳ සාකච්ඡාව තවදුරටත් දීර්ඝ වනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.