හදවත් බද්ධ සැත්කම් සඳහා සියලු පහසුකම්
"ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන් දැකබලා ගැනමේ අරමුණින් මම අද මහනුවර මහ රෝහලට පැමිණියා. එම සැත්කම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට වඩා පුරවැසියෙකු ලෙස මම සතුටු වෙනවා "යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මහනුවර මහ රෝහලේදී සිදු කරන ලද ප්‍රථම හදවත් සැත්කම පිළිබද සොයාබැලීම සහ එම සැත්කමට එක්වූ වෛද්‍යවරුන්ට ස්තුතිය පුද කිරීමට අද (13දා) පෙරවරුවේ මහනුවර රෝහලට පැමිණීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
රෝහලේ නව රුධිර කාන්දූකරණ ඒකකය සහ ශල්‍යාගාරය විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි. එම ඒකකයට අවශ්‍ය යන්ත්‍ර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අක්මා රෝගීන් වෙනුවෙන් සැත්කම් 2015 වසරේ ආරම්භ කළා. කොළඹ ජාතික රෝහලේ තවත් සැත්කම් ආරම්භ කිරිමට සුදානම් වුවත්, විශාල බාධා ඇති වුණා. හදවත් බද්ධ සැත්කම් පළමුවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ කොළඹ හෘද රෝහලේයි. ඒ සදහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. නමුත් ඊට ප්‍රථමව මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් මෙම හාස්කම සිදූ කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. සැත්කම සිදූ කළ දිනයේම දූරකථනයෙන් කථා කර මම එම විශේෂඥ වෛද්‍යවරුන්ට ස්තුතිය පුද කළා.
මුල්ම හෘද සැත්කම් බද්ධය ලෝකයේ සිදුකර ඇත්තේ දකුණු අප්‍රිකාවෙයි. ඒ 1967 දී. ශිෂ්‍යයන් විදිහට අපි එම සැත්කම පිළිබඳ ලිපි අධ්‍යයනය කළා. අපේ රටේ වසර 50 කට පසුව තමයි ප්‍රථම හෘද සැත්කම් බද්ධය සිදු කළේ.
මෙම සැත්කමට දායක වූ සියලුම වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ස්තුතිය පුද කළ යුත්තේ මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වීම හේතුවෙන්. මෙම සැත්කම් ඉදිරියට පත්වාගෙන යමට අවශ්‍ය පහසුකම් ලබාදීමට මම කටයුතු කරනවා.
සෞඛ්‍ය සේවාව නංවාලීමට අපේ රජය රුපියල් බිලියන 235 ක් මෙම වසරේදී වෙන් කර තිබෙනවා. ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් ද මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළා. තවත් මාසයකින් බොරැල්ල ළමා රෝහලේ ආරම්භ කරනවා.
මහනුවර රෝහලේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරනවා. මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම රෝහලට අයත් දන් දී තිබූ ඉඩම් ටික ලබාගැනීමට සමත් වුණා.
මහනුවර මහ රෝහල ශ්‍රී ලංකාවේ දෙවන ජාතික රෝහල බවට පත් කිරීමට මම තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩලය ද ලබාදෙනවා. වෛද්‍ය ක්ෂේත්රය තුළ නව හාස්කම් දක්වන වෛද්‍යවරු සහ සෙසු කාර්ය මණ්ඩලය වෙනුවෙන් වසර අවසානයේ ජාතික සම්මාන උළෙලක් පවත්වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අමල් හර්ෂ ද සිල්වා මහතා, අධ්යක්ෂවරුන්, මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ සමන් රත්නායක මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඇතුළු නාවික හමුදා සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

