(UPDATE) අතුරුදන් වූ MH370 යානයේ සෝදිසි මෙහෙයුම් අද දිනයේ යළි ආරම්භ කෙරිණි.
මේ අතර යානයේ බවට සැකකෙරෙන කොටස් කිහිපයක් සොයා ගිය චීන සහ ඔස්ට්‍රේලියානු නෞකා ඊයේ දිනයේ හිස් අතින් පැමිණ තිබුණි.
මේ තත්ත්වය තුළ යානයේ ගමන්කළ මගීන්ගේ ඥාතීන්, විශේෂයෙන් චීන ජාතිකයන් දැඩි කෝපයටත්, නොසතුටටත් පත්ව ඇති අතර ඔවුන් මැලේසියානු අගමැතිවරයා හා ප්‍රවාහන අමාත්‍යවරයා සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලයි.
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ බවට සැකකෙරෙන කොටස් කිහිපයක් පෙරේදා දිනයේදී සෝදිසි මෙහෙයුම්වල නිරත ගුවන් යානා විසින් නිරීක්ෂණය කිරීමත් සමග චීන සහ ඔස්ට්‍රේලියානු නිරීක්ෂණ නෞකා දෙකක් එම කලාපය වෙත ඊයේ උදෑසනින්ම ගමන් ඇරඹුවේය.
ඒ අනුව, නව කලාපයේ සෝදිසි මෙහෙයුම් සිදුකළ නෞකා දෙක විසින් සොයා බැලූ කොටස් අතුරුදන් යානයේ බවට තහවුරු නොවූ බව ඔස්ට්‍රේලියානු සමුද්‍රික ආරක්ෂණ අධිකාරිය පවසයි.
පෙරේදා දිනයේදී නිරීක්ෂණ ගුවන්යානා විසින් මෙම කොටස් කිහිපය හඳුනාගෙන තිබුනේ මීට පෙර සෝදිසි මෙහෙයුම් සිදුකළ කලාපයේ සිට ඊසානදිගට සැතපුම් 700ක් පමණ දුරිනි.
මගීන් 239 දෙනෙකු සමග මැලේසියානු ගුවන් සේවයේ MH370 යානය පසුගිය මාර්තු 8 වැනිදා ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළින් චීනයේ බෙයිජිං වෙත ගමන් අරඹා පැයක් ගතවීමත් සමග ගොඩබිම සමග යානයේ පැවති සියලු සම්බන්ධතා ඇණ හිටියේය.
එදා සිට අද දක්වා ලෝකයේ රටවල් රැසක් එකතුව මෙම අබිරහස මතුකර ගැනීම සඳහා දැවැන්ත උත්සාහයක නිරත වුවත්, මේ දක්වා යානයට සිදුවූයේ කුමක්ද හෝ එය සාගරයට කඩා වැටුනේ නම් ඒ නිශ්චිතම ස්ථානය හඳුනාගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වී තිබේ.
කෙසේ වෙතත් පෙරේදා ගුවන් යානා විසින් නිරීක්ෂණය කළ කොටස් නිල් සහ අළු වර්ණයෙන් යුතු හතරැස් හැඩයේ කොටස් බව කියවුණි. මේ අතර, අදාළ ස්ථානය නැවත තහවුරු කරගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ගුවන් යානයක්ද නැවත එම කාලපය වෙත යවා තිබුණු බව ඊයේ උදෑසන පැවසුණි.