සේරුවිල සරණකිත්ති කල්‍යාණි වංශ නිකායෙ අනුනායක සේරුවිල මංගල රජමහා විහාරාධිපති හිමියෝ අපවත් වූහ.
උන්වහන්සේ අපවත්වන විට වසර 76ක් ආයු වැළදූහ. ත්‍රිකුණාමලය ජයසුමනාරාමය, මුතූර් උතුරුගිරි විහාරයේ අධිපතිවහන්සේ කටයුතු කළ උන්වහන්සේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ගුරු හිමියන්ද වූහ.
සේරුවිලට කොටින් විසින් විවිධ බාධක කරද්දී ඒ සියල්ලක්ම මැඩ පවත්මින් උන්වහන්සේ සේරුවිල පුදබිම ආරක්ෂා කරමින් බෞද්ධයන් වෙනුවෙන් බේරා දුන්හ.
සේරුවිල නාහිමියන්ට පිළිකාවක් හැදී තිබුණ බව මහමෙවුනා භාවනා අසපුව නිකුත් කළ නිවේදනයක වෙයි.
එකල මා පොඩි නමක් ව සිටියදී -අපේ ගුරු දෙවිඳුනේ
මට ඔබව පෙනුනේ - කෙසර විහිදා සිටින
මහා සිහරදෙකු මෙනි
තිස් වසර පුරාවට - ජාතිවාදී කොටින් සැහැසිව
නිරපරාදේ සිහල ජනයා - නසා වනසා දමන විටදී
අප භගවත් මුනිඳුගේ - නළල් දා පිහිටි
සේරුවිල මහ පින්බිම තබා දිවි පරදුවට
සුරැක ගත්තෝ -ඔබ මිසක් වෙන කවරහුද?
දිඹුලාගල නාහිමි නැසූ ලෙසින් -ඔබව ද නසාලන්නට
ජාතිවාදී කොටින් - එකොළොස් වතාවක් ම
ඇටුවෝය උගුල්,
අසිරිමත් ය ඔබේ පින් තෙද - ඒ හැම උගුලෙනුත් බේරී ගිය
අපේ ගුරු දෙවිඳුනේ - පිළිකාව නමැති සතුරා
රහසේ ම ඔබ කයට රිංගා - ඔබට වින කටින තුරු
අපට දැනගත නොහැකි වූයේ - මන්ද අප ගුරු දෙවිඳුනේ?
ජාති භේදයක සේයාවක් -ඔබේ සෙවනැල්ලෙහිවත් වැටී නොතිබුනි
එක ම මිනිසත් පවුලක - අපි සියල්ලෝ මිනිසුන් ම වග
නිතර ඔබ හඬගා වදාළ අයුරු - තවම රැව් දේ මගේ සවනත
දිවියේ අනිස බව පසක් කරමින් - මේ නවාතැනින් සමුගෙන
අලුත් නවාතැනකට වඩිනා - අපේ ගුරු දෙවිඳුනේ
අප මුනිඳු නළල් දා පිහිටි - සේරුවිල මහාසෑ අනුහසින්
ඒ අලුත් නවාතැනදී සුවසේ - සිව්සස් දහම් දැකුමට
ඔබට සවිබල වේවා!
අපේ ගුරු දෙවිඳුනේ,
මේ ගොයුම් බුදු සසුනේ - පසක් වේවා අම නිවන් සුව!
ඔබේ සිසු දරුවන් වන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුලු මහමෙව්නාවේ සඟ පිරිස