සුපිරි ඇමති පනතට ශ්රීලනිපය ජවිපෙ හා ඒකාබද්ධය නෑ
පළාත් සභා තුළදී සුපිරි ඇමතිවරයෙකු බිහිවන සංවර්ධන විශේෂ විධිවිධාන කටුම්පත පරාජයට පත්කරන ආකාරයටම පාර්ලිමේන්තුව තුළදී එය පරාජයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට අමතරව මෙයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද මේ වනවිට සැලසුම් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ගෙනඒමට නියමිත මෙම පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් අගමැතිවරයාට, ජනාධිපතිවරයාට පවා නොමැති සුපිරි බලයක් හිමිවන බවත්, මේ නිසා මෙම පනත පිළිබඳ ජනාධිපතිවරයාට මේ මොහොතේදී සිය සුපිරි බලය පෙන්වීමට හැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේය.
ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයාට බලතල ලබා දී තිබෙන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරමින් සිටින්නේ මෙම බලතල පවරාගෙන අගමැතිවරයා ලෙස සුපිරි වැඩ කිරීමට බවත් ඔහු පවසා සිටියේ.
යෝජිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත හරහා සුපිරි ඇමතිවරයෙකු බිහිවන බවත්, එහෙත් ඔවුන් යෝජනා කරන ආකාරයට එවැනි කෙනෙක් අවශ්‍ය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර, දැනට යෝජනා කර තිබෙන ආකාරයට පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ලබානොදෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත නොහැකි බවද ඔහු පවසා සිටියේය.
සුපිරි බලතල සහිත ඇමතිවරයෙකු රටට අවශ්‍ය නොවන බවත්, මේ නිසා මෙම කෙටුම්පතට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ජනතා විමුක්ති පෙරමුණද සඳහන් කරයි.
සුපිරි ඇමති පනත සංශෝධනය කරන බවට සඳහන් කර තිබුණද එය සිදුවන ආකාරය නොදන්නා බවද එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
පළාත් සභා තුළ මෙම පනත සම්මත නොවුවහොත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම කෙටුම්පත එළඹෙන 29 වැනිදා බස්නාහිර පළාත් සභාවේදි විවාදයට ගැනීමට නියමිතය.
මේ වනවිට මෙම පනත ඌව, උතුර සහ උතුරු මැද යන පළාත් සභා තුළ විවාදයට ලක්කෙරුණු අතර, එම පළාත් සභා තුනේදීම අදාළ පනත පරාජයට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

