උතුරු පළාතට අයිති කොඩිය කුමන ආකාරයෙන් භාවිත කළද ඒ සඳහා කිසිවෙකුගෙන් අවසර ගත යුතු නොමැති බවත් හැකිනම් නීතිමය පියවර ගන්නා ලෙසත් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා රජයට අභියෝග කොට සිටියි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (21) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“සමහර ඇමතිවරු කියලා තිබුණාලු උතුරු පළාත් සභා කොඩිය පාසල්වල භාගයක් දාපු එක වැරදියි කියලා. අපි අහන්න කැමතියි අපේ අයිතිය තියෙන කොඩිය කොයි විදිහට දානවා කියලා ඔබතුමාලාගෙන් අහන්න ඕනෙද? ඒකට ඇක්ෂන් ගන්න ඕනේ නම් පුළුවන්නම් ඇක්ෂන් ගන්න. සමහර අය කියනවා උතුරු පළාත් සභාව විසුරුවනවයි කියලා. පුළුවන්නම් විසුරුවලා බලන්න. අපි චැලේන්ජ් කරන්නම්. මේ ජන සංහාර සිද්ධ වෙලා තියෙනවා. මේකට නීතිය අපිට ලැබෙන්න ඕනේ. අපේ පළාත අපිට ඕනේ විදියට පාලනය කරන්න අපිට අයිතිවාසිකම් එන්න ඕනේ. මේක අනිත් පැත්ත රවට්ටලා කරනවා නම් වැරදියි” යනුවෙන් පැවසීය.