දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේ නම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බව අවධාරණය කළේ අද (24දා) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බව අවධාරණය කළ ජනාධිපතිවරයා තුමා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.
වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත්රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලුදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.
කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බව පැවසූ ජනාධිපතිවරයා එම දිගුකාලීන දේශපාලන ගමනක මහඟු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කැපවීම් මේවන විට සිදුකර තිබෙන බවත් පැවැසීය.