ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ 'මුලාවැල්ල' ප්‍රදේශයේ සහ රක්ෂිතය අභ්‍යන්තරයේ පර්යේෂණ කටයුතු සඳහා පමණක් වෙන්කර ඇති 'අක්කර පනහ' යන ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් දිගින් දිගටම වල්ලාපට්ටා කැපීම් සිදුකරන බව 'අද'ට අනාවරණය විය.
සැලකිය යුතු කාලයක සිට සිදුකෙරෙමින් පවතින මෙම නීතිවිරෝධී ක්‍රියාවේදී ජාවාරම්කරුවන් විසින් ශාකයන් කපා වල්ලාපට්ටා රැගෙන යන අතර,ඒවායේ මුල්ද සහමුලින් ගලවාගෙන යන බවක් දක්නට ලැබේ. එමෙන්ම, කඳන් කපා ජීව ශාකවලටද හානි කරමින් පවතින බවට වූ සලකුණුද අදාළ ප්‍රදේශයන්හි දක්නට ලැබේ.
මේ පිළිබඳ 'අද' කළ සොයා බැලීමේදී හෙළිදරව් වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් මෙම ජාවාරම් සම්බන්ධයෙන් දැනුවත්ව පසුවන බවයි. එහෙත් ඒවා හෙළිකිරීමට ඔවුන් නිරන්තරයෙන් පසුබට වන බවක් එහිදී දක්නට ලැබිණි.
සිංහරාජ රක්ෂිතයට මායිම්ව පිහිටි ගම්මානවල පදිංචි ගම්වැසියන්ගෙන් මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ, සිංහරාජය අභ්‍යන්තරයේ කාලයක සිට මෙවැනි ජාවාරම් සිදුවන බවක් දක්නට ලැබෙන බවයි.
ඒ සම්බන්ධයෙන් කුඩව සංරක්ෂණ කාර්යාලය මෙන්ම කලවාන අඩවි වන කාර්යාලයද බොහෝ අවස්ථාවලදී දැනුවත් කළ නමුත් මේ වනතෙක් නිලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවටද ගම්වාසීහු චෝදනා කරති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව සිදුවන අහිතකර මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් ගනු ලබන කළමනාකරණමය හා පරිපාලනමය වැරදි තීරණ ඊට ඍජුව බලපා ඇති බවක් දක්නට ලැබේ.
මේ සම්බන්ධයෙන් පෙන්වා දීමක් සිදුකළ පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ, මානව ක්‍රියාකාරකම් බහුලව සිදුවන සිංහරාජයේ කුඩව ප්‍රදේශය භාරව කටයුතු කරනු ලබන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව සංරක්ෂණ කාර්යාලය මගින් සංචාරක කටයුතු සම්බන්ධව පමණක් ක්‍රියාත්මක වන බවයි.
ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එම කාර්යාලයට බලතල ලබාදීමක් සිදුකර නොමැති බවත්,ආරක්ෂක කටයුතු කලවාන අඩවි වන කාර්යාලය වෙත පවරාදී ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ අනුව, ක්‍රියාත්මක වීමට කුඩව කාර්යාලයේ නිලධාරීන් සිටියද, අවශ්‍ය බලතල නොමැති වීම හේතුවෙන් කිසිවක් කළ නොහැකි බව පෙන්වා දුන් එම නිලධාරියා, අදාළ බලතල පවරා දී ඇති කලවාන අඩවි වන කාර්යාලය සතුව ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම ගැටලුවක්ව ඇති බවද සඳහන් කළේය.
වල්ලාපට්ටා, කිඹුල් හූනන් ඇතුළු පාරිසරික සම්පත් ඍජුව වනාන්තරවලින් සූරාකමින් සිදුකරනු ලබන නීතිවිරෝධී ජාවාරම් මෑත කාලයේ බොහෝ විට දක්නට ලැබුණද,යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිංහරාජ රක්ෂිතය අභ්‍යන්තරයේ මෙවැනි ජාවාරම් දක්නට ලැබීම කනගාටුවට කරුණකි.
ඒ අනුව අදාළ වැටලීම් සඳහා ප්‍රමාණවත් ලෙස නිලධාරීන් අනුයුක්ත කර භෞතික පහසුකම් හා නෛතික බලතල ලබාදීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපේ විශ්වාසයයි.