සැර මත්පැන් මිල හා බීර මිල එකවර වැඩිකිරීම සඳහා රජයට සූත්‍රයක් නොමැති බව රජයේ කැබිනට් සම ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එවැනි සූත්‍රයක් තිබේනම් කැබිනට් මණ්ඩලයට ලබාදෙන්නැයි රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (15දා) එක්වෙමින් ඇමතිවරයා ඉල්ලා සිටියේය.
බීර සහ සැර මත්පැන් මිල වැඩිකළ යුතුයැයි ජනාධිපතිවරයාද ප්‍රකාශ කළ බවත්, නීතිවිරෝධී මත්පැන් පානය අවම කිරීම සඳහා බීර මිල අඩුකිරීමට සිදුව ඇති බවත් ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
“බියර් අඩු කරපු එක වැරදියි කියලා කිහිප දෙනෙක් එකතු වෙලා කතාකළාම ඒක පිටුපස්සේ ඔක්කොම එලවාගෙන යනවා. මම දන්නවා එක ගායකයෙක් බියර් එකත් එක්ක ජිම් කාලකුත් බොනවා. එතකොට ඒක කොයි තරම් අමාරුද? බියර් එකෙන් අක්මාවට ඇතුළුවන මද්‍යසාර ප්‍රමාණයත් එක්ක මේ ප්රශ්නය තියෙන්නේ. කසිප්පු මර්දනය කරන වැඩපිළිවෙළට යන්න විදියක් නැහැ බොන මිනිහා මොනවා හරි බොනවා. කවුරුවත් කසිප්පු ගැන කතාකරන් නෑ. බියර් එක අඩුකිරීම ගැන තමයි කතාකරන්නේ. එහෙනම් මොකක්කහරි විකල්පයක් තියෙන්න ඕනෑ” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.