අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල සිදුවන අක්‍රමිකතා සොයාබැලීමට නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය අද (08දා) සිට එළඹෙන 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,670 ක පැවැත්වේ. මෙවර විභාගයට අයදුම්කරුවන් 664,537 ක් පෙනී සිටීමට නියමිත අතර, මෙම ප්‍රමාණයෙන් 403,442 ක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති.විභාග රාජකාරි, සම්බන්ධීකරණ මධස්ථාන රාජකාරි සහ උත්තර පත්‍ර ගබඩා කරන මධ්‍යස්ථාන රාජකාරි සඳහා 41,000 ක කාර්ය මණ්ඩලයක් යොදවා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
විභාග රාජකාරි කටයුතු කරන සියලු දෙනාට මෙවර විභාග රාජකාරි සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක්ද ලබා දී ඇතැයි ඔහු පවසා සිටියේය.අයදුම්කරුවන්ට සහ විභාග නිරීක්ෂකයන්ට විභාග ශාලා තුළට ජංගම දුරකථන රැගෙන යාම හා තාක්ෂණි වෙනත් උපකරණ රැගෙන යාම සපුරා තහනම් අතර, මෙවැනි වරදක් සිදුකරන ශිෂ්‍යයන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවන බවත්, වරදක් කරන නිලධාරීන් විභාග රාජකාරිවලින් ඉවත්කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
දුරකථන රැගෙන යාමට අමතරව ෆයිල් කවර, හිස් කොළ, සටහන් සහිත කොළ රැගෙන යාමද සපුරා තහනම් බවත්, මෙවැනි වැරදි සිදුකරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පිළිතුරු පත් හුවමාරු කරගෙන ලියන අයදුම්කරුවන්ට එරෙහිවද විභාග පනතට අනුව කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
විභාග නිරීක්ෂණ කණ්ඩායම් පැය 24 පුරාම රාජකාරියේ යොදවා සිටින බවත්, එම පිරිස් විභාග මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සහ උත්තර පත්‍ර තැන්පත් කර තිබෙන ස්ථාන නිරතුරුවම පරීක්ෂාවට ලක්කරන බවත් හෙතෙම කියා සිටියේය.
විභාග මධ්‍යස්ථාන තුළ හෝ උත්තර පත්‍ර තැන්පත් කර තිබෙන ස්ථානවල අක්‍රමිකතාවක් සිදුවුවහොත් හෝ සිදුවෙමින් තිබෙනවා නම් ඒ පිළිබඳව 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ 0112 784 208 , 0112 784 537 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.