සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඩේලිමිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ සාමාජ මාධ්‍ය ෆිල්ටර් කිරීම (පාලනය) ගැන අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මේ වන විට ෆේස්බුක් සමාගම හා සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.