නිසි ක්‍රමවේදයකින් ක්‍රියාපටිපාටියකින් හා සම්ප්‍රදායෙන් තොරව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කළ නීතීඥවරයා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.අධිකරණ සේවා සංගමයේ විධායක සභාව හදිසියේ රැස්වී ගත් තීරණයකට අනුව අධිකරණ සේවා සංගමයේ ලේකම් ගල්කිස්ස මහේස්ත්‍රාත් එම්.එම්.එම්. මිහාල් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින් ජනාධිපතිවරයාට ඒ බව දැනුම්දී තිබේ.
මේ ආකාරයේ පත්කිරීම් සිදුනොකරන බව ප්‍රකාශ කර තිබියදී මෙවැනි පත්කිරීමක් සිදුකළ බව අසන්නට ලැබීමෙන් තමන් විශ්මයට පත්වූ බව මිහාල් මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියෙන් දැනුම්දී තිබේ.
මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කළ යුත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් මත නීතිපතිවරයාගේ විමසීමෙන් පසු ජනාධිපතිවරයා විසින් බව පෙන්වා දෙන අධිකරණ සේවා සංගමය, මේ බව අගවිනිසුරුවරයාගෙන් විමසූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව නීතීපතිවරයාගේ අනුමැතිය යටතේ මෙම පත්කිරීම සඳහා නිර්දේශ කළ බව එතුමා සඳහන් කළද ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඒ බව විමසූ අවස්ථාවේදී එවැනි කරුණක් පිළිබඳව තම විධායක සභාවේදී කිසිදු තීරණයක් නොගත් බවත්, තම සංගමය එවැනි ආකාරයේ කිසිදු ඉල්ලීමක් නොකළ බවත් දැනගන්නට ලැබුණු බවද සඳහන් කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී මීට ඉහතදී එක්තරා දේශපාලන පක්ෂයක් මෙම නීතීඥවරයා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරන ලෙස ඉල්ලීමක් කළද තමා එය ප්‍රතික්ෂේප කළ බව දැනුම් දුන් බව සඳහන් කරන අධිකරණ සේවා සංගමය, මේ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ අධිකරණ අමාත්‍යවරයා මෙවැනි පත්කිරීමක් කරන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බව පැහැදිලි බවද ඒ අනුව යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අගවිනිසුරුවරයා නොමග යවා ඇති බව පැහැදිලි වන බවද සඳහන් කර තිබේ.
නීත්‍යානූකූල හා සදාචාරත්මකව පැවැති සම්ප්‍රදායන්ට පටහැනි ආකාරයට අදාළ නීතීඥවරයා මහාධිකරණ විනිසුරු ධුරයට පත්කර ඇතැයිද එලෙස සිදුකර ඇති මෙම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුවම වහාම අවලංගු කරන ලෙසද අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.