වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය මගින් රට තුළ එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් නොහැකි ලෙස ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂ නායකයන් ගත් එකඟතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දුන් බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය 20 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ රැස්වී රට තුළ උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන්ව සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡාවලින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවට ඒකමතික තීරණයක් ගත් බව ඒ මහතා පවසා සිටියේය.
ඊයේ (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙලෙස පක්ෂ එකතුවෙන් ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන් බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ පසු අගමැතිවරයා ලෙස පත් කරන මහජන නියෝජිතයා නම් කරන බවත්ය.
මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ඒමට සැලසුම් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට මේ වනවිට මහජන නියෝජිතයන් විශාල පිරිසක් අත්සත් තබා තිබෙන බවත්, ඉදිරි දිනකදී මෙම යෝජනාව කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
යම් ලෙසකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුව භාරදීමට කටයුතු කළ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් ඉදිරි මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් වන්නේ ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් වශයෙන් බව පක්ෂ නායකවරයා පවසා සිටියේය.
දේශපාලන වශයෙන් බංකොළොත් වූ කීපදෙනෙකුට ආණ්ඩුව භාරදෙන ලෙස ඉල්ලීම විහිළුවක්
පසුගිය ආණ්ඩුව ගෙනගිය දූෂණ වංචා ක්‍රියා නිසා එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව පරාජය කිරීමට රටේ ජනතාව කටයුතු කර තිබියදී, දේශපාලන වශයෙන් බංකොළොත්භාවයට පත් වූ කීපදෙනෙකුට ආණ්ඩුව භාරදෙන ලෙස ඉල්ලීම විහිළු සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
රාජපක්ෂ ආණ්ඩුව වසරකට රුපියල් බිලියන ගණන් රටේ මුදල් විනාශ කර රට ආර්ථික වශයෙන් අගාධයට ඇද දමා තිබියදී, ජනතාවට සහන ලබා දී රට ආර්ථික වශයෙන් ඉහළට ගනු ලැබුවේ වර්තමාන ආණ්ඩුව විසින් බවත්, එවන් තත්ත්වයක් තුළ රට ආර්ථික වශයෙන් කඩාවැටී තිබෙන බව ප්‍රකාශ කිරීම විහිළු සහගත බවත් ඔහු කීය. තම ආණ්ඩුව දින සියය වැඩපිළිවෙළ යටතේ රටේ ජනතාවට ලබාදුන් සහන පසුගිය ආණ්ඩුව කාලය තුළදී හෝ ලබා දී නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ ආකාරයට රටේ ජනතාවට සහන ලබා නොදුන් රාජපක්ෂ පිළ ආණ්ඩුවක් කිරීමට ඉල්ලීම පවා විහිළු සහගත බවද හෙතෙම තවදුරටත් පවසා සිටියේය.