ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්රීලනිපය යන කණ්ඩායම් දෙකම, කොන්දේසි ඉදිරිපත් කර ඇති බවට වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයිද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ඒකාබද්ධ විපක්ෂයට කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇතැයිද දැන ගන්නට තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකාබද්ධයේ කොන්දේසිය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැනුම් දී ඇතැයි සඳහන් වේ.
දෙපාර්ශ්වය එක්ව පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වැදීම හෝ ශ්‍රී ලනිපයත්, ඒකාබද්ධ විපක්ෂයත් තමන්ට වාසි සහගත කොට්ඨාස වෙන වෙනම බෙදාගෙන නිතරග ගිවිසුමක් යටතේ තරග වැදීම හෝ සියලුදෙනා එක්ව ශ්‍රී ලනිප යටතේ තරග කිරීම ශ්රීලනිපය ඉදිරිපත් කළ යෝජනා තුන බවට පැවසේ.
මෙම යෝජනා ඒකාබද්ද විපක්ෂයට ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර, මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ අදහස්ද සලකා බලා යළි සාකච්ඡා කිරීම සඳහා වූ මූලික කරුණු ඇතුළත් යෝජනාවලියක් ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද වාර්තාවේ.
මෙම සාකච්ඡා සඳහා පත්කර ඇති ඇමැති අනු කමිටුවේ නායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු සකස් කර ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දයාසීලි ලියනගේ / අජන්ත කුමාර අගලකඩ (ඉරිදා ලංකාදීප)