විවිධ හේතු මත දිනකට අපේ රටේ පාද පහක් පමණ ඉවත් කෙරෙන බවත් එසේ පාද පහක් පමණ ඉවත් කෙරුණත් කෘත්‍රිම පාදයක් හෝ පාද යුගලක් ලබාගැනීමේ හැකියාව ඇත්තේ පාද අහිමි වන සෑම පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණක් බවත් කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේදී පසුගියදා පැවැති උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
රැකියාවේ යෙදී සිටියදී අත් පා අහිමි වූවන් නැවත සමාජගත කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ වැඩබිම්වල සේවයේ යෙදී සිටියදී පාද අහිමි වූ 20 දෙනෙකු සඳහා කෘත්‍රිම පාද ලබාදීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අද මේ රටේ වැඩ කරන ජනතාවගේ සංඛ්‍යාව අසූ ලක්ෂයකට වැඩියි. ඒ කියන්නෙ කෝටියකට ආසන්න පිරිසක් මේ රටේ ශ්‍රම බළකාය විදිහට කටයුතු කරනවා. කම්කරු අමාත්‍යාංශය විදිහට අපට තමයි ඒ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වගේම සුබ සාධනය උදෙසා කටයුතු කිරීමේ වගකීම පැවරී තියෙන්නෙ. ඒ අනුව තමයි අපි කල්පනා කෙරුවෙ වැඩබිම්වල සේවයේ යෙදී සිටින විට අත් පා අහිමි වන අයට පිහිටක් වීම සඳහා වැඩසටහනක් සකස් කළ යුතුයි කියල. මේ වැඩසටහන ආරම්භ කරපු ගිය අවුරුද්දෙ අපි ලබාදුන්නෙ පාද හයක් පමණයි. මේ අවුරුද්දෙ අපිට පුළුවන් වෙලා තියෙනව විසි දෙනෙකුට පාද ලබාදීමට. ඒක හොඳ ප්‍රගතියක්" යැයිද පවසා සිටියේය.