ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය දීර්ඝ කාලයකට පසු සුවිශේෂී ජයග්‍රහණ ත්‍රිත්වයක් වාර්තා කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා විසින් එම මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳව අමාත්‍යවරයාට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදීය. මෙම හමුව එම මණ්ඩලයේ මාණ්ඩලීය ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, අපනයන ක්ෂේත්රයේ ලබාගත් ජයග්‍රහණ ත්‍රිත්වයෙන් (Export hat trick) පළමුවැන්න ලෙස, 2014 මැයි මාසයට සාපේක්ෂව, ජුනි මස අපනයනයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, 2013 ජනවාරි සිට ජුනි දක්වා මුල් මාස හය (06) හා 2014 වර්ෂයේ අදාල කාලය සැලකීමේදී මෙම වසරේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීම මෙහි දෙවැනි අපනයන ජයග්‍රහණය බැව්ද අමාත්‍යවරයා පැවසීය. තෙවැන්න සහ ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ, පසුගිය වසර පහේ මුල් මාස හයක කාලය සැලකීමේදී 2014 ජනවාරි - ජුනි ආදායම් ඉහළම අගය වාර්තා කරන බවයි.
තවද මෙම ජයග්‍රහණ තමා විසින් හෝ එක් පාර්ශ්වයක් විසින් තනිව ලබාගත් දෙයක් නොවන බවත්, මේ වෙනුවෙන් කැපවූ සියලුම අපනයනකරුවන් හා අදාළ සමාගම්වලට තම ප්‍රණාමය පුදකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.