ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ශ්‍රී පාද රක්ෂිතයේ බටහිර බෑවුමේ පමණක් හමුවන නව සර්ප විශේෂයක් ලොවට හඳුන්වාදීමට මෙරට තරුණ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
ඇස්පිඩුරා රාවණයි (Aspidurai Ravanai) ලෙස නම් කර ඇති මෙම නවසර්ප විශේෂය විදුලොවට හඳුන්වාදී ඇත්තේ මෙන්ඩිස් වික්‍රමසිංහ, දුලාන් රංගවිදානපතිරණ, එච්.කේ. දුෂාන්ත කණ්ඩම්බි, ආර්.ඇලෙක්සැන්ඩර්, පයිරන් හා නෙතු වික්‍රමසිංහ යන පර්යේෂකයන් කණ්ඩායම විසිනි.
ඔවුන් පවසන්නේ, මෙම සර්ප විශේෂයේ දක්නට ලැබෙන සුවිශේෂී වර්ණ රටාව කොරළ වින්‍යාසය අණුක වංශ ප්රවේණිකතාව අනුව ඇස්පිඩුරා (Asopidura) ඝනයේ අනෙකුත් සාමාජිකයන්ගෙන් මෙම සර්ප විශේෂය පැහැදිලි ලෙස වෙනස් වන බවයි.
ඔවුන් මේ සම්බන්ධව ලියන ලද පර්යේෂණාත්මක පත්‍රිකාව ZOOTAXA ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ ඉකුත් නොවැම්බර් මස 13 වන දින ප්‍රකාශයේ පත්කර තිබේ.
ඒ අනුව මෙම නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මැඩිල්ලන් විශේෂ ගණන 08 දක්වා වැඩිවන බව මෙම පර්යේෂකයෝ පවසති.
ඇස්පිඩියුරා (Aspidiura) ඝනය මෙරටට පමණක් ආවේණික සර්පයින් කොටසක් අයත්වන ඝනයක් වන අතර මෙම නව සොයාගැනීම සමග මෙරටින් වාර්තාවන මෙරටට ආවේණික සර්ප විශේෂ ගණන 51 දක්වාද ශ්‍රී ලංකාවේ වාර්තාවන සමස්ත සර්ප විශේෂ ගණන 104 ක් දක්වාද ඉහළ යන බව එම පර්යේෂණ කණ්ඩායමේ දුෂාන්ත කන්ඩම්බි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ සහ නකල්ස් ලෝක උරුම කලාපයේ කොටසකට අයත්වන සමනල කන්ද, ස්වභාවික රක්ෂිතයේ උරග හා උභයජීවී විවිධත්වය පිළිබඳව ප්‍ර‘ලේඛනකාරිය සිදුකරගෙන යන අතරතුර මෙම නව සර්ප විශේෂය හඳුනා ගැනීමට හැකිවූ බව ඔවුහු පවසති.
රාවණාගේ මැඩිල්ලා ලෙස නම් කර තිබෙන මෙම නව සර්ප විශේෂය හමුවන්නේ මුහුදු මට්ටමින් උස මීටර් 1650 – 2000 අතර උන්නතාංශයකින් යුතු කඳුකර වනාන්තරවල බැවින් මොවුන් වැඩි වශයෙන් හොඳින් සෙවණ ලැබෙන ඝන දිරායන කොළරොඩු ස්ථරයකින් වැඩුනු බුරුල් පස තුළ හෝ දිරාගිය ශාක කොටස්යට බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර් 30ක් පමණ ගැඹුරේ හමුවන බව මෙම පර්යේෂකයින් පිරිස පෙන්වා දෙති.
මීට වසර පන්දහසකට පමණ ඉහත මෙරට ජීවත්ව සිටි බවට විශ්වාස කරනු ලබන ශේෂ්ඨ අධිරාජ්‍ය‘යෙකු මෙන්ම අපරිමිත බුද්ධියකිමන් හා බලයකින් හෙබි රාවණා රජුන් සිහිවීම පිණිස මෙම සර්ප විශේෂයෙන් විශේෂ නාමය රාවනායි (Ravanai) ලෙස නම් කළ බවද, ඒ අනුව රාවනාගේ මැඩිල්ලා නොහොත් ඇස්පිඩියුරා රාවනායි ලෙස නම් කිරීමට තීරණය කළ බවද එච්.කේ. දුෂාන්ත කණ්ඩම්බි මහතා තවදුරටත් අප සමග පැවසීය. ඒ අනුව මෙම සර්ප විශේෂයේ ඉංග්‍රීසි නාමය Ravanas rough-side snake ලෙස හඳුන්වා දී තිබේ.
නයනජීව බණ්ඩාර