අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියර පැවැත්වෙන කාලසීමාව තුළ සිදුවන මැතිවරණ ප්රචාරක කටයුතුවලින් විභාග මධ්‍යස්ථානවලට බාධා සිදුවිය හැකි නිසා විභාගය පැවැත්වෙන කාලසීමාවේ විභාග මධ්‍යස්ථාන අවට ප්රචාරක කටයුතු සිදුකිරීමට අවසර ලබානොදෙන ලෙසට පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන අතර, මේ පිළිබඳව සහ මැතිවරණයේදී පොලීසිය කටයුතු කරන ආකාරය පිළිබඳව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සෑම දිස්ත්‍රික්කයකටම ගොස් උපදෙස් ලබාදෙමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මීට අමතරව විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විභාග මධ්‍යස්ථාන අවට ප්රචාරක කටයුතු සිදුවනවාදැයි නිරතුරුවම සොයාබලන ලෙසට විභාග මධ්‍යස්තාන අයත් පොලිස් ස්ථාන වෙත නියෝග නිකුත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ලබා දී තිබෙන උපදෙස්වලට අනුව කටයුතු නොකරන සියලු දෙනාට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.