නාවික හමුදා නිවසක සිටින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
රෝහණ විජේවීර මහතා ඝාතනය වීමෙන් පසු 1989 වසරේ සිට රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රානි විජේවීර මහත්මියත් දරු සය දෙනාත් ජීවත් වනු ලබන්නේ නාවික හමුදා නිවසකය.
මෙලෙස ජීවත්වන විජේවීර මහත්මිය ඇතුළු පිරිසට නිවසෙන් ඉවත්වන ලෙස නාවික හමුදාව දන්වා තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බවත්, මේ අනුව එම පිරිසට නවාතැන් ගැනීමට නිවසක් සහ අවශ්‍ය පහසුකම් ලබාදීම පක්ෂය විසින් සිදුකරන බවත් පවසා සිටියේය.
විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ට නාවික හමුදාව නිවසක් ලබාදී තිබුණත් බොහෝ වැඩකටයුතු සිදුකරනු ලැබුවේ සිය පක්ෂය විසින් බවත්, දැනට විදේශගතව අධ්‍යාපනය ලබනා දරුවාට පවා උදව් උපකාර කරනුයේ පක්ෂය විසින් බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් නාවික හමුදා නිවසින් ඉවත් කළ පසු විජේවීර පවුල මහපාරට වැටෙන බවට යම් පිරිසක් ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවත්, පක්ෂය ඔවුන් පිළිබඳව සොයා නොබැලූ බවටත් චෝදනා එල්ලවෙමින් තිබෙන බවත් පවසා සිටියේය.
එහෙත් එම ප්‍රචාර සියල්ලම අසත්‍ය බවත්, එදා සිටඅද දක්වාම පක්ෂයට හැකි පමණින් විජේවීර මහතාගේ බිරිඳටත්, දරුවන්ටත් යුතුකම් ඉෂ්ට කර තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
රෝහණ විජේවීර මහතා ඝාතනය වීමෙන් පසු විජේවීර මහත්මිය ඇතුළු පවුලේ පිරිස් ශ්‍රී ලංකා යුද හමුදාවට භාර වූ අතර, ඉන්පසුව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ නිවසක් ලබාදී 1994 වසර දක්වා ආරක්ෂාව ලබාදී ඇත.
1994 වසරේ සිට මේ දක්වා වැලිසර නාවික හමුදා කඳවුරේ නිවසක මොවුන් රැඳී සිටින අතර, පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මේ වනවිට රුසියානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරනු ලබයි.
මේ පිළිබඳව අද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔක්තෝම්බර් පළමුවැනිදාට පෙර නිවස භාර දෙන ලෙසට විජේවීර මහත්මියට දන්වා තිබෙන බවය.
මේ දැනුම් දීම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.