උතුරු මහ ඇමති විග්නේෂ්වරන් මහතා මේ වනවිට බංකොලොත් වී ඇති බවත් මේ නිසා උතුරේ මහඇමතිවරයාගේ එම ප්‍රකාශ සියලු දෙනාම ප්‍රතික්ෂේප කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේබව ප්‍රකාශකළේය.
විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශ දකුණේ ජාතිවාදීන්ට හොඳ අවස්ථාවක් බවත් පරාජයට පත්වුන රාජපක්ෂ වටා සිටි ජාතිවාදී කල්ලියට එල්ලෙන්න පිදුරු ගහක් නැති වෙලාවේ විග්නේෂ්වරන් කඹයක් දුන්නා යැයි ද හෙතෙම කීය.
විග්නේෂ්වරන් විසින් මීට පෙරත් විවිධ ප්‍රකාශ නිකුත් කළා. නමුත් මෙවර ඔහුගේ ප්‍රකාශය ඉතාම බරපතළයි. දෙමළ ජාතික සන්ධානයත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිනවා. සිංහල දෙමළ ජනතාව යුද්ධයෙන් පසුව ජාතික සමගිය වෙනුවෙන් විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින මොහොතක මෙවැනි ප්‍රකාශ කිරීම බරපතළයි.
විග්නේෂ්වරන් මේ වනවිට බංකොලොත් වෙලා ඉන්නේ. ඔහු මහඇමතිවරයකු ලෙස මුළුමනින්ම අසමත් පුද්ගලයෙක්. ආණ්ඩුවෙන් ලබා දුන් මුදල් පවා උතුරේ ජනතාව වෙනුවෙන් යොදවන්න ඔහු අසමත් වුණා. එනිසා උතුරේ ජනතාව අතරේ ඔහු අප්‍රසාදයට පත්වෙලා ඉන්නවා. මෙම බංකොලොත්කම වහගන්න විග්නේෂ්වරන් මෙවැනි ජාතිවාදී රැඩිකල් ප්‍රකාශ කරනවා. නමුත් ඔහුගේ මෙම ප්‍රකාශ කි‍්‍රයාවට නැගෙන්නේ නැහැ. නමුත් එම ප්‍රකාශ දකුණේ ජාතිවාදීන්ට හොඳ අවස්ථාවක් හදනවා. පරාජයට පත්වුන රාජපක්ෂ වටා සිටි ජාතිවාදී කල්ලියට එල්ලෙන්න පිදුරු ගහක් නැති වෙලාවේ විග්නේෂ්වරන් කඹයක් දුන්නා.
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් සිදු වෙන්නනේ දකුණේ ජාතිවාදී කණ්ඩායම් පෝෂණය වීමයි. විග්නේෂ්වරන් කියනවා සිංහල ජනතාවට උතුරේ පදිංචි වෙන්න බැහැ කියලා. ලංකාවේ නීතියට අනුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාවට තමන් කැමති ඕනෑම පළාතක පදිංචි වෙන්න අයිතිය තියෙනවා. සිංහල ජනතාව කිව්වොත් දෙමළ ජනතාවට දකුණේ පදිංචි වෙන්න බැහැ කියලා බරපතළ තත්ත්වයක් මතු වෙන්නේ නැතිද? ඒ වගේම අපේ රටේ විවිධ ආගම් විශාල ප්‍රමාණයක් තිබෙනවා.
බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් ආගම් අදහන ජනතාව පූජනීය ස්ථාන හදන එක වළක්වන්න කාටවත් බැහැ. උතුරේ පන්සල් හදන්න බැහැ කියනවා නම් දකුණේ කෝවිල් හදන්න බැහැ කියලත් තර්ක කරන්න පුළුවන්. මේවා විග්නේෂ්වරන්ලාගේ දෙකයි පනහේ කතා. උතුරේ ජනතාවගේ ඉල්ලීම විග්නේෂ්වරන්ගේ ඉල්ලීම් නෙවේ. උතුරේ ජනතාව අතරේ අපි ඉන්නවා. අපි ඔවුන් සමග වැඩ කරනවා. ඔවුන්ගේ හෘද සාක්ෂිය අපි දන්නවා. ඒ නිසා විග්නේෂ්වරන්ගේ මෙම ජාතිවාදී ප්‍රකාශය සියලූ දෙනා විසින්ම ප්‍රතික්ෂේප කළ යුතුයි.
මේ ආණ්ඩුව දැන් බොරු කියමින් ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් ඉන්නවා. ජනතාව නොමග යවන ප්‍රකාශ කරමින් දැවැන්ත බදු බරක් පටවනවා. ඒ අතරේ රටට ආදායම් ලබාදෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව ආණ්ඩුවට අවශ්‍ය පරිදි මෙහෙයවන්න එම ආයතනවලට අදාළ පනත් දුර්වල කරමින් ඉන්නවා.
මේ ආණ්ඩුව ඉතාමත් අසාධාරණ විදියට 15%ක් දක්වා වැට් බදු ඉහළ දැම්මා. අපේ රට ඉතාම දුප්පත් ජනතාවක් ජීවත්වන රටක්. ආණ්ඩුව ඡන්දේ කාලේ කිව්වේ අපේ රටේ ආර්ථිකය හදලා ජනතාවගේ සාක්කු පුරවනවා කියලා. නමුත් බලය ගත්තට පස්සේ කරමින් ඉන්නේ ජනතාවගේ සාක්කු සුද්ද කරලා ඇමතිවරුන්ගේ සාක්කු පුරවන එකයි. ආණ්ඩුවේ මෙම අසාධාරණ වැට් බදු පැනවීමට එරෙහිව මේ රටේ ව්‍යාපාරිකයින් පාරට බැස්සා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පාරට බැස්සා. අපේ රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි ජනතාවක් දිළිඳු ජනතාවක් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ සමෘධිය වැනි දීමනාවලින්. ජනගහනයේන් 43%කගේ දෛනික ආදායම ඩොලර් 02ට වඩා අඩුයි. එවැනි ජනතාවකට මේ විදියට බදු ගැසීම අතිශය අසාධාරණයි.
ආණ්ඩුවේ මෙම බදු ගැසීම කිසිදු සාධාරණත්වයක් නැහැ. එනිසා මෙම අසාධාරණ වැට් බද්ද පරාජයට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ උපරිම විදිහට මැදිහත් වෙනවා. ආණ්ඩුව ආර්ථිකය සංවර්ධනය කරලා නිෂ්පාදනය වැඩිකරලා ආදායම් ලබා ගන්නවා වෙනුවට අණ්ඩුව සිදුකරමින් ඉන්නේ හැඬු කඳුලින් ඉන්න රෝගීන්ගෙන් පවා බදු අය කරගන්න එකයි. එම නිසා ආණ්ඩුවේ මෙම කි‍්‍රයාමාර්ග පරාජයට පත්කළ යුතුයි.
ආණ්ඩුව ජනතාවගේ පොකට් එකට ගහන අතරේ රටට ආදායම් හොයලා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගුවට අනවශ්‍ය බලපෑම් කරමින් තමන්ට පාලනය කරන්න, ඇමති යටතට ගන්න හදනවා. බදු ආදායම් හොයන ආයතන කළමනාකරණය කරනවා වෙනවට දේශපාලනීකරණය කරමින් අවුල් කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ අධිරාජ්‍යවාදී ආයතනවලට අනුවයි. පහුගිය කාලයේ ණය ගන්න කොට අයි.එම්.එෆ්. එකට පොරොන්දු වුණා මූල්‍ය ක්ෂේත්රය විවෘත කරන්න. " යැයි ද පැවසීය.