අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ නම වෙනස්කර ගැනීමේ කාලය පැමිණි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය. හෙතෙම මේ අදහස් පළකළේ, මාලඹේ සාලවනඋයන විහාරස්ථානයේදී පැවැති පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්රීවරයා, "රටේ සම්පත් විකුණාගෙන කෑමත් අරඹලා. එදා පෝට්සිටිය හදනකොට, ‘මේ රට චීන කොලනියක් බවට පත් කරනවා’ කියලා කෑගහපු රනිල් වික්රමසිංහ මහතා අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමා තිබෙනවා. ඒ වගේම හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. මට එක් තරුණයෙක් කිවුවා ‘දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි’ කියලා. ‘රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයෙකු වෙන්න හදන වික්රමසිංහගේ නම ‘වික්කම සිංහ’ විදියට වෙනස් වුණොත් හොඳයි’ කියලයි ඒ තරුණයා කිවුවෙ. මම කල්පනා කළේ මේ අගමැතිවරයාට ‘වික්රමසිංහ’ කියනවාද, ‘වික්කමසිංහ’ කියනවාද කියලයි" යැයි පැවසීය.