විකිරණවලින් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් මේ වනවිට එම නව බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර, එම නව බලපත්‍රය රහිතව ක්‍රියාත්මක වන හෝ විකිරණ පනත උල්ලංඝනය කරන්නන් වෙනුවෙන් දැඩි දඬුවම් පැමිණවීමට පියවර ගන්නා බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් නිකුත් කරනු ලබන නව බලපත්‍රය ලබානොගන්නා සහ මේ වනවිට ක්‍රියාත්මක වන පරමාණුක බලශක්ති පනතට පටහැණිව ක්රියාකරන්නන්ගේ ආයතන මුද්‍රා තැබීම, දඩ මුදල් අයකිරීම, උසාවි නඩු පැවරීම හෝ නැවත ලබාගත නොහැකි පරිදි බලපත්‍ර අවලංගු කිරීම ආදී දඬුවම් පැමිණවීමට එම සභාව මගින් ක්‍රියාකරනු ඇත.
1969 අංක 19 දරණ පනතට අනුව ක්‍රියාත්මක වූ පරමාණුක බලශක්ති අධිකාරිය, මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වන්නේ 2015 වසරේ ජනවාරි 01 දා සම්මත කරගත් විකිරණ පනතේ විධිවිධාන අනුව වේ. එම පනතට අනුව පරමාණුක බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක නියාමන සභාව සහ පරමාණුක බලශක්ති මණ්ඩලය යනුවෙන් ආයතන දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් මෙම නව බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලැබේ.
මෙවැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන්, විකිරණවලින් තොර සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සිය ඒකායන අරමුණ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.