පාරේ නීතිය අයිති ට්රැෆික් ලොක්කන්ටය. මහමගදී මාර්ග නීති කඩන අයට දඬුවම් ලෙස දඩ කොළ ලීවීමත්, උසාවි දැමීමත් ඔවුන්ගේ කාර්යයයි. එහෙත් මහමග නීතිය රැකීමට පත්කර ඇති ට්රැෆික් රාළහාමි කෙනෙකු අපූරු යතුරුපැදි සංචාරයක යෙදෙණු පහුගිය ඊයේ (19දා) අද කැමරා ඇසක සටහන් වූයේ මෙලෙසය.
පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන ප්රධාන මාර්ගයේ අවිස්සාවේල්ලට නුදුරේදී හමු වූ මේ පොලිස් මහතා තම නිල යතුරු පැදිය ධාවනය කළේ මහ පාර තමන්ගේ තාත්තාගේ යැයි සිතාගෙනය. සුදු ඉර කපමින්, සංඥා එළි නොතකමින් පමණක් නොව මහ මග උන් ඇතැමුන්ගෙන් බැණුම්ද අසමින් ගමන් ගත් ඔහුගේ යතුරු පැදියේ දකුණු පස පැති වීදුරුව තිබුණේද නැත.
කිලෝමීටර් හතර පහක් තිස්සේ අප ඔහු ලුහුබැඳ ගියෙමු. දිගින් දිගටම නීති කැඩූ ඒ මහතා රත්නපුර පාරෙන් අවිස්සාවේල්ල බස්නැවතුම සහිත නගරය පැත්තට යතුරු පැදිය හැරෙව්වේ සවස 5.20 ට පමණය.
මෙයින් අපට කිව හැකි වන්නේ එකම එක දෙයකි. 'වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව' කියාය.
සමන් එදිරිමුණි