වවුනියාව රජයේ ඉන්ධන ගබඩාවේ සිට උතුරු පළාතට බෙදාහැරෙන ඉන්ධන මහා පරිමාණයෙන් සොරකම් කළ බව පැවසෙන පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය හා වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය එක්ව පෙරේදා (03දා) රාත්‍රියේ කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු තොරතුරකට අනුව එහි විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වවුනියාව - ගුඩ්සෙඩ් මාර්ගයේ පිහිටි ඛනිජ තෙල් තොග ගබඩාවේ විශේෂ සෝදිසි වැටලීමක් සිදුකර ඇති අතර, එම වැටලීම සිදු කරන අවස්ථාවේදී තෙල් සංස්ථාවේ තෙල් ගබඩාවල සිටි පිරිසක් බවුසරයකට රහසිගතව තෙල් මාරු කරමින් සිට තිබේ.
අදාළ ඉන්ධන බවුසරයේ රියදුරු, සහායක හා එම අවස්ථාවේදී තෙල් ගබඩාවේ සේවය කරමින් සිටි පුද්ගලයන් 07 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්ධන බවුසරය හා එහි තිබූ ඉන්ධන ලීටර් 2,700ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ ඉන්ධන තොග ගබඩාවේ වවුනියාව නියෝජිතවරයා වශයෙන් කටයුතු කරන්නේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා බවටත් අත්අඩංගුවට ගත් තෙල් බවුසරයද මන්ත්‍රීවරයාට අයත් බවටත් තොරතුරු වාර්තා වෙයි.
සෑම සතියකම අවසානයේ තොග අවසන්ව ඇති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම්දිය යුතු අතර, ගබඩාවේ සේවකයන් එසේ දැනුම්දී ඇත්තේ යම් ඉන්ධන තොග ප්‍රමාණයක් සැඟවීමෙන් පසුව බවත්, සඟවන ලද ඉන්ධන තොගයද අදාළ මන්ත්‍රීවරයාට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇතැයි පැවසෙයි.
මේ පිළිබඳව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
“මට මේ ව්‍යාපාර එකක්වත් දැන් නැහැ. මම දේශපාලනයට ආවට පස්සේ ව්‍යාපාරවලින් ඉවත් වුණා. මගේ මල්ලිලා තමයි දැන් මේ ව්‍යාපාර කරන්නේ. මේ තෙල් බවුසරය මට අයිති එකක් නොවේ. මේ කිසිම දෙයකට මම සම්බන්ධ නැහැ. වහාම පරීක්ෂණයක් කර සොයා බලන්න කියලා මමත් ඉල්ලා සිටිනවා.*
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (04දා) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය හා වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ / චාමර සම්පත්