ලොව වඩාත් ප්රකට සෙල්ෆී ඡායාරූප අතර සුවිශේෂී කතාබහකට ලක්වූ 'වඳුරු සෙල්ෆී' ඡායාරූප පෙළක් එහි අයිතිය සම්බන්ධයෙන් දැඩි විවාදයකට තුඩුදී ඇති සිදුවීමක් වාර්තා වෙයි.
ඡායාරූප ශිල්පියෙකු මෙම ඡායාරූප සම්බන්ධයෙන් විකිපීඩියා වෙබ් අඩවිය සමග ප්රකාශන හිමිකම වෙනුවෙන් අරගලයක නිරතව ඇති අතර, ඔහු කියා සිටින්නේ විකිපීඩියා වෙබ් අඩවිය මෙම ඡායාරූපය පළකිරීම හේතුවෙන් තමාට පවුම් 10,000ක පමණ මුදලක් අහිමි වී ඇති බවයි.
ඩේවිඩ් ස්ලේටර් නමැති ඡායාරූප ශිල්පියා වැඩිදුරටත් පවසා සිටින්නේ අදාළ අන්තර්ජාල විශ්වකෝෂ අඩවියට මෙම ඡායාරූප ඉවත්කරන ලෙස කිහිපවරක් කියා සිටියත් ඔවුන් එය ඉවත්කර නොමැති බවයි.
අන්තර්ජාල පොදු අඩවියක් තුළ මෙම ඡායාරූප පළකිරීම තුළින් එය මිලදී ගැනීම සඳහා පැවති උනන්දුව සම්පූර්ණයෙන්ම හීන වී ඇති බවද ඔහු පවසයි.
කෙසේ වෙතත්, අදාළ විකිපීඩියා අඩවිය පෙන්වා දෙන්නේ, මෙම ඡායාරූප සෙල්ෆී (තමා විසින්ම තමන්ගේ ඡායාරූපයක් ගැනීම) ඡායාරූප නම් මෙහි ප්රකාශන අයිතියක් මෙම ඡායාරූප ශිල්පියාට නොමැති බවයි.
එනම්, මේවා වඳුරු සෙල්ෆී ඡායාරූප නම්, ඒවා ලබාගෙන ඇත්තේ එහි සිටින කළු මැකාකි වඳුරන් නිසා එය අදාළ ඡායාරූප ශිල්පියාගේ ප්රකාශන අයිතියක් නොවන බව එම වෙබ් අඩවිය අවධාරණය කරයි. අදාළ වෘත්තීය ඡායාරූප ශිල්පියාගේ කැමරාව රැගෙන ගිය වඳුරන් මෙසේ ඡායාරූප ලබාගෙන ඇති බවත්, මිනිසුන් නොවන සතුන් විසින් රැගත් ඡායාරූපවලට මිනිස් අයිතිවාසිකමක් කීම හෝ එහි මිනිස් ප්රකාශන හිමිකරුවෙකු නොමැති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් අවධාරණය කරයි.