වගාව සරු කරගන්න ක්ෂුද්‍ර ජීවීන්
පරිසරයට සහ මිනිස් සිරුරට අහිතකර නොවන ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන පරිසර හිතකාමී ජෛව පොහොර නිපදවීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වී සිටී.
මෙම ක්ෂුද්රජීවී ජෛව පොහොර ‘බයෝ ෆිල්ම්’ නමින් හැඳින්වෙන අතර තේ, වී, රබර්, එළවළු ඇතුළු බෝග රැසක සරු ඵලදාවක් ලබාගැනීමට හැකියාව ලැබේ. ලෝකයේ ප්‍රථම වතාවට ‘බයෝ ෆිල්ම්’ යොදාගෙන මෙවැනි පර්යේෂණයක් සිදුකළ බව පර්යේෂකයෝ පවසති.
හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ක්ෂුද්රජීවී ජෛව තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ.
දැනටමත් බෝග වගා රාශියක අත්හදා බැලීම්වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන වාණිජ වශයෙන් භාවිත කිරීමට ඔවුනට හැකිවී තිබේ.
ක්ෂූද්‍ර ජීවීන් බෝග වගාව සඳහා යොදාගැනීම සුදුසු බවට ලෝකය පිළිගෙන තිබෙනවා. මීට පෙර ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන පර්යේෂණ සිදුකළත් ඊට වෙනස් ආකාරයේ ක්ෂුද්‍ර ජීවී ප්‍රජාවක් ලෙස ගෙන අපි පර්යේෂණ සිදුකළා. එය ඉතාමත් සාර්ථකත්වයට පත්වුණා.
ක්ෂුද්‍ර ජීවී කියූ පමණින් සමහරු බියට පත්වෙනවා. එහෙත් මෙම ක්‍රමය මගින් මිනිසාට හෝ පරිසරයට කිසිදු අහිතකර බලපෑමක් ඇතිවන්නෙ නෑ. අප පරිසරයේ ක්ෂූද්‍ර ජීවීන් බොහෝ සිටිනවා. මෙම ‘බයෝ ෆිල්ම්’ තුළින් සරුසාර අස්වැන්නක් ලබාගන්න පුළුවන්. රසායනික පොහොර භාවිතය 50%ක් පමණ අඩුකර ගැනීමට හැකිවෙනවා. රසායනික පොහොර භාවිතයේ සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු පසුගිය වකවානුවේ විශාල ලෙස කතාබහට ලක්වුණා. ඒ සියල්ලට පිළිතුරක් ලෙස ‘බයෝ ෆිල්ම්’ තාක්ෂණය හඳුන්වාදෙන්න පුළුවන්.
දැනට අපි මෙම ක්ෂුද්‍ර ජීවී ජෛව පොහොර ඉන්දියාවට අපනයනය කරනවා. එමගින් සරුසාර ඵලදාවක් ලැබෙන නිසා මේ වනවිට ඒ සඳහා ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. දැනටමත් එළවළු වර්ග රාශියක භාවිත වෙනවා. වසර 15 ක් පමණ කාලයක සිට සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට මෙම ‘බයෝ ෆිල්ම්’ හඳුන්වා දෙන්න අපට හැකිවුණා.
එළවළු වගාව ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් මෙම 27 වැනිදා ක්ෂේත්‍ර වැඩසටහනක් සංවිධානය කිරීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මුලික අරමුණ වන්නේ නුවරඑළිය ගොවීන්ට මිනිසාට හිතකර සරුසාර ඵලදාවක් ලබාගැනීමට ‘බයෝ ෆිල්ම්’ හඳුන්වාදීමයි. මෙම වැඩසටහන සඳහා මේ සඳහා ජාතික පර්යේෂණ සභාව සහ ලංකා බයෝ ෆර්ටිලයිසර් ආයතන මූල්‍ය දායකත්වය සපයනවා.* යනුවෙන් මහාචාර්ය සෙනෙවිරත්න මහතා පැවසීය.
ගයාන් සූරියආරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



