කෘෂි රසායන නිසා බෝවන රෝගයක් සේ පැතිර යන මාරාන්තික වකුගඩු රෝගයට සමගාමීව වකුගඩු රෝගය පැතිර යන දිස්ත්‍රික් අටක ජනතාවට, පිළිකා සහ රක්ත හීනතා රෝගවලට ලක්වන්නටද සිදුව තිබෙන බව රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වකුගඩු රෝග පිළිබඳ දේශීය පර්යේෂණ වෛද්‍ය කණ්ඩායමේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
ඊයේ (22 දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ වෛද්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පවසා සිටියේ, 1994 වසරේදී මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වූ වකුගඩු රෝග තත්ත්වය මේ වනවිට රටේ දිස්ත්‍රික්ක 08 ක් පුරා පැතිර යමින් තිබෙන බවය.
මේ නිසා රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 1994 න් පසු මේ දක්වා කාලය තුළ 22,000 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබෙන බවත්, රෝගීන් 63,500 ක් වාර්තා වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ආරම්භයේදී වයස අවුරුදු 50 ත් 60 ක් අතර වයස් පරතරයක පිරිස්වලට වකුගඩු රෝගය වැලඳුනත් අද වනවිට වයස අවුරුදු 15 – 16 ත් අතර වයස්වල අයට පවා මෙය වැලඳෙමින් තිබෙන බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.