වතුකරයේ ජනතාවට තමන්ටම කියා ඉඩමක් සහ නිවසක් ලබා දී 'ලයිම' සහ 'වත්තේ මිනිස්සු' යන නම් දෙකම වෙනස් කරන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේය.
මේ අනුව පේළි නිවාස වෙනුවට නිවසත්, වත්ත වෙනුවට ගම්මානය ලෙසත් නම් වෙනස් කර වතුකරයේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් ඇති කරන බවද ඔහු පවසා සිටියේය.
අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින් ඊයේ (14දා) මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වතුකරයේ නායකයන් යැයි කියාගත් බොහෝ පිරිස් පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරමින් වතු ජනතාව රැවටීමට ලක්කළ බවයි. එහෙත් වත්තේ කෙනෙකු ලෙස තමා දින 100 ආණ්ඩුව යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 400 ක් සකස් කර දුන් බවද ඔහු පවසා සිටියේය.
වතු නායකයන් යැයි කියාගන්නා පුද්ගලයන් පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරමින් තට්ටු නිවාස ලෙස යම් නිවාස ප්‍රමාණයක් සකස් කරදුන්නද, ඒවායේ පවතින ප්‍රමිති තත්ත්වය නිසා ජනතාවට එම නිවාසවල ජීවත් විය නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කරමින් ගම්මාන සහ නිවාස සකස් කරදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.