ලබන වසරේ සිට රියදුරු පාසල් නියාමනයට
අලුතින් රියදුරු බලපත්ර ලබාගන්නන්ට විධිමත් රියදුරු පුහුණවක් ලබාදීමේ අරමුණින් එළඹෙන වසරේ සිට දිවයින පුරා පිහිටි රියදුරු පුහුණු පාසල් නියාමනය කිරීම මෝටර් රථ දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන බව රථවාහන මූලස්ථාන පොලීසිය පවසයි.
දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු ප්රමාණය සැලකීමේදී රියදුරු බලපත්ර ලබාගන්නා පුද්ගලයන්ට මාර්ග නීති පිළිබඳව නිසි අවබෝධයක් නොලැබීමත්, රියපැදවීමේදී ඉවසීමේ ගුණාංග රියපැදවීම පුහුණුවීමේදීම ඇති කරගත යුතු බවට නිසි අවබෝධයක් ලබා දිය යුතු බවත් රථවාහන මූලස්ථාන පොලීසියේ උපපොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා පැවසීය.
වර්තමානයේ රටපුරා රිය පැදවීමේ පුහුණු පාසල් විශාල ප්රමාණයක් බිහිව තිබුණද ඒවා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඒ අනුව අරඹන බවද හෙතෙම සඳහන් කර සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ, ආසියා පදනමේ අනුග්රහය ඇතිව කුරුවිට පොලීසියේ රථවාහන අංශයේ සංවිධානයෙන් කුරුවිට ප්රදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැති කුරුවිට පොලිස් බලප්රදේශයේ ජීවත්වන බස්, ලොරි, වෑන්, ත්රිරෝද රථ රියදුරන් හා යතුරු පැදිකරුවන්ට ආරක්ෂාකාරීව රිය පැදවීම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්රණයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"රියදුරා, පදිකයා සහ මගියා කියන මේ පාර්ශව තුනම අනතුරුවලට වගකිව යුතුයි. මාර්ග නීති දාහතරක් තියනවා. ඒ නීති සම්බන්ධයෙන් දැනුවත්ව මාර්ග සංඥාවලට සහ සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරීන්ගේ විධානයන්ට අවනත වෙමින් ඉවසීමෙන් වාහන පදවනවා නම් අනතුරු වළක්වා ගැනීමට හැකි වෙනවා" යැයි පවසා සිටියේය.
අජිත්ලාල් ශාන්තඋදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

