ශ්රී ලංකාවේ වයස්ගතම පිරිමි පුද්ගලයා ඊයේ (06) ගාල්ලේදී මියගියේය. වේවැල්වල හේවගේ විලියම් නමැති ඔහු මිය යනවිට වයස අවුරුදු 105 ක් හා මාස පහක් වයසැති විය. ගාල්ල බටගන්විල පදිංචි ඔහු 1908 අගෝස්තු මස 09 දා උපන් අයෙකි. අඹවත්ත හේවගේ ලීලාවතී මහත්මිය සමග විවාහ වී සිටි හෙතෙම දරුවන් පස් දෙනකුගේ පියෙකි.
දරුවන් පවසන්නේ සිය පියා මියයන තුරුම කිසිදු විශේෂ රෝගයක් නොමැතිව නිරෝගී සුවයෙන් පසු වූ බවයි. අවසන් කාලය දක්වාම කාගේ හෝ අත්වාරුවෙන් නිවසේ ගමන්කිරීමේ හැකියාවෙන් යුක්ත වූ විලියම් මහතා වයස අවුරුදු 100 දක්වාම උපැස් යුවළක් නොමැතිව පුවත්පත් කියවීමේ හැකියාවෙන් යුක්ත විය. ජීවිතයේ අවසන් වසර කිහිපයේ පමණක් ඒ මහතා උපැස් යුවළක් භාවිත කළේය.