රාජ්‍ය සමාගම් යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ තරු හතරේ එකම රෝහල වන ලංකා හොස්පිටල් ආයතනය විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව අන්තර්සමාගම් සේවක සංගමයේ ලංකා හොස්පිටල් ශාඛාව සඳහන් කරයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට 55෴ක සහ රාජ්‍ය බැංකුවට 10%ක කොටස් අයිතිය හිමි ලංකා හොස්පිටල් ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 26ක ලාභයක් ලැබූ බව ලංකා හොස්පිටල් ශාඛාවේ සභාපති උදය සිරිවර්ධන මහතා සඳහන් කළේය.
ලංකා හොස්පිටල් ආයතනයේ සම්පූර්ණ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රමාණය 11ක් වුවත් වර්තමාන ආණ්ඩුව විසින් 13 දෙනෙකුගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙන බවත්, එම අධ්යක්ෂ මණ්ඩලය තුළ පෞද්ගලික රෝහල්වල අධ්යක්ෂ තනතුරු දරන පිරිස් සිටින බවත් ඔහු පවසා සිටියේය.
අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මාස 03 කට එක් වරක් පැවැත්විය යුතු වුවත් වර්තමානය වනවිට අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම සතියකට දෙවතාවක් පවත්වන බවත් හෙතෙම සඳහන් කළේය. එහිදී එක් රැස්වීමක් සඳහා එක් අධ්‍යක්ෂවරයෙකුට රුපියල් 80,000 ක දීමනාවක් ලබාදෙන බවත්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 13න් දෙනාගෙන් 12 දෙනෙකුම මෙම දීමනාව ලබාගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.
සේවකයන් 1383 දෙනෙකු සේවය කරන ලංකා හොස්පිටල් ආයතනය තුළින් පසුගිය වසරේදී රෝගීන් 56,000 ක් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද ශාඛා සභාපතිවරයා පැවසීය.
මෙතරම් වටිනාකමක් ඇති ලංකා හොස්පිටල් ආයතනය මේ වසරේ පෙබරවාරි මාසයේදී විකුණා දැමීමට සැලසුම් කළත්, යම් හේතුවක් නිසා එය ඉටුකරගැනීමට නොහැකි වූ බවත්, එහෙත් වර්තමානය වනවිට ලංකා හොස්පිටල් ආයතනය විකුණා දැමීමට යළි සැලසුම් කර තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.