ලංකා බැංකු සේවක සංගමයට එරෙහිව මහජන බැංකුවෙන් පැමිණිල්ලක්
ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් මහජන බැංකුවේ අම්පාර ශාඛාවට ඊයේ (21දා) පැමිණ එහි කළමනාකරුට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබීම සම්බන්ධව අම්පාර පොලීසියට පැමිණිල්ලක් කළ බව මහජන බැංකු මූලස්ථානය පවසයි.
වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වීමට අවස්ථාව ලබානොදීම සම්බන්ධව චෝදනා කරමින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශාඛා කළමනාකරවරයා ඝාතනය කරන බවට තර්ජනය කර , ඔහුගේ නිල කාමරයේ දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව මහජන බැංකු මූලස්ථානය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
කිසිදු විධිමත් අවසරයකින් තොරව බැංකු ශාඛාවට පැමිණි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය බවත් ඒ සඳහා වහාම සේවකයන් සහභාගී කරවන ලෙසත් එහි කළමනාකාරවරයාට දන්වා ඇතැයි මහජන බැංකු මූලස්ථානය සඳහන් කරයි.
නිසි අවසරයකින් තොරව රාජකාරි වේලාව තුළ රැස්වීම් පැවැත්වීම හෝ වෙනත් යම් රාජකාරි නොවන කටයුත්තක් සඳහා තමන් යටතේ සිටින සේවකයන් සහභාගී කරවීමට විධිමත් අවසරයක් ලබා ගන්නා ලෙසට කළමනාකරවරයා දැන්වූ අවස්ථාවේදී බාහිරින් පැමිණි පිරිස මෙසේ කලහකාරී ලෙස හැසිරී තිබේ.
මෙහිදී තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ විට සේවකයන් විසින් බැංකු ශාඛාවේ ආරක්ෂිත සීනු නාද කර තිබෙන බවත්, පසුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර තිබෙන බවද මහජන බැංකු මූලස්ථානය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
