රජයේ රෝහල්වලට ඖෂධ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර තිබෙනා මුදල් වලින් මෙතෙක් ඖෂධ ගෙන්වීමට කටයුතු කර නොමැති බැවින් රෝහල් තුළ සහ බාහිර රෝගී අංශවල දැඩි ඖෂධ හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
කාර්තු වශයෙන් ඖෂධ ගෙන්වීමට කටයුතු කළයුතු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම කටයුත්ත නිසියාකාරව සිදු නොකිරීම නිසා තවමත් භාවිත කරනු ලබන්නේ 2014 වසරේ අවසාන කාර්තුවට ගෙන්වූ ඖෂධ බවද එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා සායනික රෝගීන්ට ලබාදෙන ඖෂධවලින් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අඩුවෙන් ලබාදීමට සිදුව තිබෙන බවත්, බාහිර රෝගී අංශවලින් නිකුත් කරන ඖෂධ සීමා කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සායනික රෝගීන්ට ලබාදෙන ඖෂධ ප්‍රමාණය අඩු වීම නිසා බොහෝ රෝගීන්ට සිය ඖෂධ පෞද්ගලික වෙළෙඳ සැල්වලින් මිලදී ගැනීමට සිදුව තිබෙන අතර, බොහෝ රෝගීන් අඩු ආදායම් ලබන්නන් නිසා මුදල් ලබා දී ඖෂධ ලබාගැනීමට නොහැකි වී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා රෝගී ජනතාවගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමෙන් රට තුළ වෙනත් අර්බුදයක්ද නිර්මාණය වෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.