ස්වාධීන රූපවාහිනී සේවය (ITN) සහ ජාතික රූපවාහිනියේ අද (18දා) පෙරවරුවේ සංචාරයක යෙදුණු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය නාළිකා පරිපාලනය පිළිබඳ සොයා බැලීමක් සිදු කළ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ආයතන දෙකෙහි ප්රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයන්හි තනතුරුවල වෙනසක්ද සිදු කළේය.
මේ අනුව ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ටී.එම්.ජී. චන්ද්‍රසේකර මහතා පත් කර ඇති අතර කාලීන සිදුවීම් අංශයේ වැඩ ආවරණය කිරීමට රංග බණ්ඩාරනායක මහතා පත් කර ඇත. එසේම ජාතික රූපවාහිනී පුවත්පත් සහ වෙබ් අඩවි සම්බන්ධ වැඩසටහන් ප්‍රධානියා ලෙස රවි අබේවික්‍රම මහතා පත් කර තිබේ.
මේ අතර ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්රවෘත්ති සහ කාලීන) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන මහතා පත් කර තිබේ. ධම්මික යටිකිද මහතා ප්රවෘත්ති අංශයේ කළමනාකාරවරයා ලෙස හා අශෝක වීරසිංහ මහතා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය කළමනාකරු ලෙසද පත් කර ඇත.
අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි සංචාරය නොකළ බවට මංගල සමරවීර අමාත්‍යවරයාට විවිධ පාර්ශ්වවලින් මීට පෙර චෝදනා එල්ල වූ අතර රාජ්‍ය මාධ්‍යන්හි ප්රවෘත්ති අංශ රජයේ කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති පිළිදව අවශ්‍ය ප්‍රමාණයට තොරතුරු ප්‍රේක්ෂකයන්ට ලබා නොදෙන බවටද චෝදනාවක් තිබිණි.