"ඒ කාලේ අපි හම්බන්තොට හරහා යනකොට හම්බන්තොට හිටිය මැරයෝ හම්බන්තොට ජනතාවට අපි දිහා බලන්නවත් ඉඩ දුන්නේ නෑ. අපි පාරේ යනවා දැකලා කවුරු හරි අපිට අත උස්සලා සැලියුට් එකක් දැම්මොත් අත කපන තත්ත්වෙක තිබුණේ. ඒ තරම්ම බියකින් තමයි එදා හම්බන්තොට ජනතාවට ජීවත් වෙන්න වුණේ. නමුත් අද තමුන්නාන්සේලාට නිදහසේ ජීවත් වෙන්න නැවත නිදහස ලැබිලා තියෙනවා" යැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මෙවර පාර්ලිමේන්තුමැතිවරණය වෙනුවෙන් පෙරේදා (11දා) තිස්සමහාරමයේදී පැවති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැතිවරණ සටනේ මංගල රැලියේදී ඒ මහතා එසේ පැවසීය.
පළාත් සභා මැතිවරණය වෙලාවේදී අපි හම්බන්තොට දිස්ත්රික්කයේ ජන රැලි කිපයක්ම සූදානම් කර තිබුණත් අපිට එය කරන්න එවකට බලයේ හිටිය රාජපක්ෂ ආණ්ඩුව අපිට ඉඩදුන්නේ නෑ.
අද ජනතාවගෙන් ප්රතික්ෂේපවෙලා ඉන්න රාජපක්ෂට 200කට වැඩි පිරිසක් ආරක්ෂාවට දීලා තියෙනවා. පැරදුනා කියලා ඔහුගේ ආරක්ෂාව අඩු කරන්න තරම් අපි දුෂ්ඨ වුණේ නෑ. නමුත් 2010 ජනාධිපතිවරණයේ ප්රතිඵල කියලා විනාඩි 10 ක් ගියේ නැ මට දීල තිබුණ ආරක්ෂාව ඉවත් කළා.
මම ,මගේ බිරිඳ, දරුවන් ඇතුළු සියලුමදෙනාගෙන් පළිගත්තා. අපෙන් එලවා එලවා අපෙන් පළිගත්තා. මාව හිරේට දැම්මා. එහෙම කරපු රාජපක්ෂගේ කටින් අද හමන්නේ සමන් මල් සුවඳ. පන්සල් ගානේ බෝධිපූජා තියලා කියනවා කාගෙන්වත් පළිගන්න එපා. හිරිහැර කරන්න එපා. වෛර කරන්න එපා කියලා. මං රාජපක්ෂගෙන් අහනවා අද ඔහොම කියන්නේ කටකින්ද කියලා.
මං මේ රට වෙනුවෙන් ජීවිතය කැප කළ කෙනෙක්. එහෙම තියෙද්දී රාජපක්ෂලා මාව අරගෙන ගිහින් හිරකළේ මගෙන් පළි ගන්න මිසක් මාව ආරක්ෂා කරන්නද?. මගේ බිරිඳ සී.අයි.ඩී. එකට ප්රශ්න කරන්න කියලා රෑ එළිවෙනකම් තියාගත්තා. අපිට දෙන්න තිබුණ සියලු වද දුන්නා.රාජපක්ෂලා එහෙම කළේ අපේ ආරක්ෂාවට වෙන්න ඇති.අපි ආගම දහම එදත් විස්වාස කළා. අදත් විශ්වාස කරනවා.හෙටත් විශ්වාස කරනවා.
අපි දැනගෙන හිටියා අපෙන් රාජපක්ෂ පළිගන්නකොට කවදා හරි එයාටත් දිට්ඨධම්මවේදනීය කර්මය පළදෙනවා කියලා. හම්බන්තොට ජනතාවගෙන් ප්රතික්ෂේප වුණ රාජපක්ෂ අද කුරුණෑගලට ගිහින්. හම්බන්තොට විනාශ කළා වගේ රාජපක්ෂට අපි කුරුණෑගල විනාශ කරන්න නම් දෙන්නේ නෑ කියන එක අපි තමුන්නාන්නේලාට කියනවා"
(සුරියවැව නුවන් ජයසේකර,තිස්සමහාරාම රුක්මන් රත්නායක)