පොලිස් නිලධාරීන් විසින් කරනු ලබන වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවනු ලබන හෙරොයින් මත්ද්‍රව්‍ය වෙනුවට වෙනත් අපද්‍රව්‍ය කලවම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගතයුතු පියවර දැනුම්දෙන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා වසර හතක් ගත වී ඇතත් මේ දක්වා නීතිපතිවරයා කිසිදු උපදේශයක් ලබා දී නැතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (29දා) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවනු ලැබූ අවස්ථාවේ සිද්ධියට අදාළව කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙමින් රහස් පොලීසියේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එස්.ඩී. වීරසිංහ මහතා මේ බව දැනුම් දුන්නේය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය අංශයේ නඩු භාණ්ඩ නැතිවන බවට රස පරීක්ෂක එච්.ජී. සෝමපාල මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළව රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.
එම පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරුවලට අනුව රජයේ රස පරීක්ෂක කාර්යාලයේ සේවකයන් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබ සිට පසුව ඇප මත මුදාහැර ඇත.
රහස් පොලීසිය මේ පිළිබඳව කළ පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් අඩංගු පාර්සල් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමෙන් අනතුරුව, එම පාර්සල්වල හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු නොවන බව සඳහන් වාර්තා නිකුත් කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් රුපියල් 50,000 සිට මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබිණි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිදු වූ බව කියන මෙම අක්‍රමිකතා ඇතුළු සිද්ධීන්වලට අදාළව සිදුකළ පරීක්ෂණවල උද්ධෘත රහස් පොලීසිය විසින් 2009/07/21 වැනිදා සී.ආර්. 1/186/09 යටතේ නීතිපතිවරයාට යොමුකොට ඇති අතර, මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර දැනුම්දෙන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කොට ඇත.
එහෙත් මේ දක්වා නීතිපතිවරයා තමන්ට උපදේශයක් ලබා නුදුන් බව අධිකරණයට දැනුම්දුන් රහස් පොලීසිය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කොට ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට නියම කළේය.