මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ කටයුතු ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් විසින් ආරම්භ කර තිබේ.
විශ්වාසභංග යෝජනාව බාරදීමට ප්‍රමාණවත් පරිදි අත්සන් ලැබී තිබුණහොත් කථානායක කරු ජයසූරිය මහතාට එම යෝජනාව අද (26දා) දිනයේදීම බාරදෙන බවත්, එසේ නොවුණහොත් එය දින කිහිපයක් කල්දැමීමට සිදුවන බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඊයේ (25දා) සවස් වනතුරු එයට මන්ත්‍රීවරු වැඩි පිරිසක් අත්සන් කර නොතිබුණු බවත්, අද දිනයේදී ඒ සඳහා අත්සන් කරන බවට මන්ත්‍රීවරුන් දන්වා සිටි බවත් නානායක්කාර මහතා සඳහන් කළේය. මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ඊයේ සවස් කාලය වනතුරු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුම්වත් කළ බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අතර අද කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඒකාබද්ධ විපක්ෂයේ වැඩි පිරිසක් තවමත් අත්සන් කර නොමැති බවයි. අද දිනයේදී එය අධ්‍යයනය කර බලා අත්සන් කරන බවට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු පිරිසක් අද ට සඳහන් කළහ.
නමුත් මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ සාමාජිකයෙකු ලෙස සැලකෙන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් අද කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධව සාකච්ඡා නොකළ බව හා එවැන්නක් සම්බන්ධව තමා නොදන්නා බවයි.