මිළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් නොවුණහොත්, ඔහු ඉදිරිපත් කරන්නේ විපක්ෂය දිනවිය හැකි දක්ෂයෙක් නොවන බවත්, වික්රමසිංහ මහතාගේ විපක්ෂ නායකකම හා පක්ෂ නායකකම ඉදිරියටත් ආරක්ෂා කරදෙන අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර පරාජයේ වගකීම ඔහු වෙත පැවැරීමට කටයුතු කරමින් සිටින බව විමල් වීරවංශ ඇමතිවරයා පවසා සිටියේය.
ප්රතිසංස්කරණය කරන ලද දෙමටගොඩ සිරිධම්ම මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පෙරේදා (09දා) දින පැවති උත්සවයට සහභාගීවෙමින් ඇමතිවරයා මෙම අදහස් ප්රකාශකර තිබේ.
"රනිල් වික්රමසිංහ මහත්තයා වෙනදා යනවට වඩා ඉක්මනින් එම කාපට් පාරවල්වලම ගිහිල්ලා රැස්විම් වැඩි ගණනක් අමතනවා. එතුමා 3 වතාවක්ම මේ රටේ ජනාධිපතිවෙන්න ගියා. නමුත් බැරි වුණා. මීළඟ ජනාධිපතිවරණය සඳහා විපක්ෂනායකතුමා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වෙලා පරාජයට පත්වුණත්, එතුමාට විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි දෙකම නැතිවෙන්නේ නැහැ.
දිනන්න හැකියි කියලා එතුමා හිතන අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළොත්, එතුමාට විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි දෙකම නැතිවෙන බව එතුමා දන්න නිසා දිනන්න හැකියි හිතන කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ.
මේ නිසා මීළඟ ජනාධිපතිවරණයට රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් නොවී වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් එතුමා තෝරාගන්නේ එතුමාගේ විපක්ෂ නායකකමටයි, පක්ෂ නායකකමටයි ප්රශ්නයක් නොවන ප්රතිඵලයන් නිර්මාණය කරන දුර්වල අපේක්ෂකයෙක්වයි"යනුවෙන් ඇමතිවරයා පැවැසීය.