මෙරට සිට ඉන්දියාවේ මදුරෙයි දක්වා රන් තොගයක් නීති විරෝධී අයුරින් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (19දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව සඳහන් කරයි.
39 හා 46වන වියේ පසුවන පුද්ගලයෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
සැකකරුවන් විසින් තම ගමන් මල්ලේ රහසිගත ලෙස සඟවා මෙම රන් තොගය රැගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් රන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 27ක් වන බවත් ඒවා රාජසන්තක කිරීමට පියවර ගත් බවද රේගුව පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සැකකරුවන් රුපියල් 50000ක් රුපියල් 30000ක් බැගින්වූ දඩ මුදල් පැනවීමෙන් පසු නිදහස් කිරීමට කටයුතු කර ඇති බව රේගුව වැඩිදුරටත් සඳහන් කරයි.