පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ජාතික හෙළ උරුමයට අයත් එකක් බැවින් එම ධුරය යළි පක්ෂයට ලබාදිය යුතු යැයි එම පක්ෂයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ.
එක්සත් ජාතික පෙරමුණ යටතේ ජාතික හෙළ උරුමය පසුගිය මහ මැතිවරණයට තරග කළ අවස්ථාවේ තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රතන හිමියන්ට පිරිනැමුවේ ගිවිසුමක් මත බවත්, පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බවට උන්වහන්සේ පසුගියදා පවසා ඇත්තේ එම එකඟතාව කඩකරමින් පක්ෂයට නොදන්වා බවත් උන්වහන්සේ පැවැසූහ.
ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ළඟින් කටයුතු කරන බැවින් මින් ඉදිරියට රතන හිමියන්ට ජනාධිපතිවරයා සමග කටයුතු කළ නොහැකි බවද ඊයේ (26දා) කියා සිටියහ.
රතන හිමියන් ස්වාධීනව තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් ගෙනයන්නේ නම් පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත්විය යුතු බව සඳහන් කරමින් ලිඛිතව උන්වහන්සේට දන්වා යැවූ බවත්, රතන හිමියන්ගේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බවත් පැවසූ විමලසාර හිමියෝ එසේ කටයුතු නොකරන්නේ නම් පක්ෂයක් වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළහ.
පසුගිය කාලය පුරා උන්වහන්සේ පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ නොවූ අතර, රතන හිමියන් පක්ෂයෙන් ඉවත් වූවා යැයි ජාතික හෙළ උරුමයේ පැවැත්මට කිසිදු හානියක් නොවන බවද විමලසාර හිමියෝ කියා සිටියහ.