තමා ජනාධිපති ධුරයේ සිටින තෙක් කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (09දා) දින පස්වරුවේදී කොළඹ යුද හමුදා රෝහල් ශ්රවණාගාරයේදී පැවති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී සන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයා යුද හමුදා ඉතිහාසයේ ප්රථම වතාවට යුද හමුදාවේ බළඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350කට වැඩි පිරිසක් ඇමතීය.
“රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ඔබට පොරොන්දු වෙනවා. යම් කිසිවෙකු වැරැද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇත.
අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයන් සහ විශ්රාමික හමුදා නිලධාරීන්, රණවිරුවන් යුද අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඬුවම් පමුණවීමට තැත්කරනා බවට කරන ප්රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ. කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්රශ්න කිරීමකට ලක් කිරීමට ඉඩදෙන්නේ නැහැ.
එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්රකාශයන් තුළින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදී පවසනවා. ඉතිහාසයේදී මෙන් නොව කිසිදු රණවිරුවෙකුගේ විදේශ සංචාරයන්ට කිසිදු බාධාවක් ඇති නොවන බවටත් මා තරයේ අවධාරණය කර සිටිනවා”