ජනතාව විසින් යෝජනා කරනවා නම් තමන් රටේ ඉදිරි අගමැතිවරයා වීමට අකමැත්තක් නොමැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ප්‍රකාශ කළේය.
වයඹ පළාතේ මාධ්‍ය‘වේදීන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වැඩමුළුවකට සහභාගී වෙමින් ඊයේ (16දා) කුරුණෑගලදී නාවින්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
'දේශීය හා ජාත්‍යන්තර දේශපාලනය සහ සමාජ තත්ත්වයන් හමුවේ රට මුහුණ දෙන අභියෝග' මැයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී.
ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු බැවින් රටේ මීළඟ අගමැතිවරයා වීමට සුදුසුකම් තිබේදැයි මාධ්‍ය‘වේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නාවින්න මහතා පැවසුවේ අගමැති ධුරය සඳහා තමාට වඩා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හයදෙනෙකු සිටින බවත්, තමා ඒ සඳහා සුදුස්සෙකු බවට ජනතාව යෝජනා කරයිනම් එම යෝජනාව ප්‍රතික්ෂේප නොකරන බවත්ය.
ආණ්ඩුවේ පැරණි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සිටියදී පසුගියදා ආණ්ඩුවට සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කලකිරීමක් නැත්දැයි මාධ්‍ය‘වේදියෙකු විමසූවිට ඒ මහතා කියා සිටියේ ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වය ගැටලුවක් නැති බවයි. රට තුළ තිබෙන දේශපාලන වටපිටාව අනුව ගනු ලබන එවැනි තීන්දු තීරණවලට විරුද්ධ විය නොහැකි බවත් හෙතෙම පැවසීය. පවතින දේශපාලන වාතාවරණය අනුව හැමෝම සතුටු කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.
“ආණ්ඩුව තුළ සිදුවන කිසිදු දෙයක් පිළිබඳව සිත තුළ කිසිදු කලකිරීමක් මට නැහැ. එහෙම වුණා කියල මේ ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මටත් යම් යම් ප්‍රශ්න තියෙනවා තමයි. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් බොහොම කැපකිරීම් කළ පුද්ගලයෙක්. මම මේ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු රැසක් දරා තිබෙනවා. ඒ නිසා මට ඔය ඇමතිකම් එච්චර දෙයක් නෙමෙයි* යනුවෙන්ද නාවින්න මහතා පිළිතුරු දුන්නේය.