සිය දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් වතු හාම්පුතුන්ගේ සංගමයේ නියෝගයක් මත වතු සමාගම් 23 කට අයත් දිවයින පුරා පිහිටි තේ කර්මාන්තශාලා වසා දමා තිබේ.
එම තේ වතු යායවල්වල වතු කාර්යමණ්ඩලයද සේවා ස්ථානවලින් ඊයේ (08දා) ඉවත්වී තිබේ.
වතු කම්කරුවෝ රුපියල් දහසක වැටුපක් ඉල්ලා මේ වන විට සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය අරගලයක නිරතව සිටිති.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව වතු හාම්පුතුන්ගේ සංගමය අවධාරණය කරනුයේ, වතු කම්කරුවන් ඉල්ලා සිටින පරිදි රුපියල් දහසක දෛනික මූලික වැටුපක් ලබාදුනහොත් තේ කර්මාන්තය කඩාවැටීමේ අවදානමකට ලක්වන බවයි.එම නිසා කර්මාන්තශාලා වසා දැමීමට ගෙන තිබෙන තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.
මෙම ගැටලුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරන්නේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීම පිළිබඳව නව ගිවිසුමක් ඇති කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවත්, ඉදිරි දින 14 තුළ අදාළ කටයුතු සිදුනොකළහොත් වතු ආශ්‍රිතව වැඩවර්ජනයක් සිදුකරන බවත්ය.
පසුගිය මාර්තු මාසයේ සිට නව ගිවිසුමක් යටතේ වතු කම්කරු වැටුප ඉහළ දැමිය යුතු වුවත්, එම කටයුත්ත නිසි ලෙස සිදුනොකිරීම නිසා එයට එරෙහිව කෑම පැයේදී උද්ඝෝෂණ අත්පත්‍රිකා බෙදාහරිමින් විරෝධතා දැක්වූ බවද එම සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍ර‘සේකර මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දැක්වීමට වතු හාම්පුතුන් හා ආණ්ඩුවේ බලධාරීන් කටයුතු නොකළ බවත්, මේ නිසා සේවක ඉල්ලීම් දිනාගැනීම සඳහා සමස්ත කම්කරුවන් එක්ව දැවැන්ත අරගලයක් දියත් කරන බවද ඔහු පවසා සිටියේය.
මේ අතර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් ලබා දුන් පොරොන්දුව ඉටු කළ යුතු බවට ඉල්ලා ඊයේ (08දා) තලවකැලේ නව නගර සභා ක්‍රීඩාංගණයේ නගරයේදී සත්යග්රහයක්ද පැවතිණි.
වතු යටිතල පහසුකම් අමාත්‍ය, ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ දේශපාලන අංශ නායක වී. රාධා ක්‍රිෂ්ණන්, ද්‍රවිඩ ප්රගතිශීලී පෙරමුණේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් යන මහත්වරුද වතු කම්කරුවන් සමග වාඩී වී සත්යග්රහ ව්‍යාපාරයට සහාය දැක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ පලනි දිගම්බරන් මහතා පැවසුවේ, වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම සඳහා කටයුතු කළයුතු බවත් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන බවට තොණ්ඩමන් මහතා ලබා දුන් පොරොන්දුව ඉටු කළ යුතු බවත්ය. මෙම අරගලය තුළින් දේශපාලන වාසි ලබා ගැනීම නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමන් මහතා විසින් සංවිධානය කරන උපවාසයක් තෙවැනි දිනයටත් හැටන් මයියප්පු මන්සන්ධියේ දී ඊයේ පැවැත්විණි. සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ආරුමගම් තොණ්ඩමන් මහතා තීරණය කර ඇති බවද අදට වාර්තාවේ.
වතු කම්කරුවන් සිය සේවා කාලය වන පැය අටක කාලය තුළ දී නෙලන ලද දලු කිලෝ පහක ප්‍රමාණය වතු කම් කරුවන් විසින් ඔවුන්ගේ කර්මාන්තශාලා ඉදිරි පිට බිමට හලා යන අයුරුද දක්නට ලැබිණි.
ඉන්දික හේවාවිතාරණ/හැටන් - රංජිත් රාජපක්ෂ/ ශාන් හුලංනුගේ