රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 80ක් නිපදවීමට සැලසුම්
දෙදහස් දහඅට වර්ෂය අවසාන වනවිට රටට අවශ්‍ය ඖෂධවලින් 80% ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීම තම අපේක්ෂාව වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙතෙම සඳහන් කර සිටින්නේ ඖෂධ කර්මාන්තපුර ඉදිකිරීම සඳහා කළුතර, හොරණ සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ඉඩම් ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම සඳහා ජපානය සමග ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (11දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර, එහිදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
ඔහු එහිදී සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් වැයවන අතර, ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමටද සැලසුම් කර ඇති බවයි. “රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මේ වනවිට වාර්ෂිකව ඖෂධ පෙති මිලියන 1900 ක් නිෂ්පාදනය කෙරෙනවා. නව නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරීමෙන් පසු එය මිලියන 3800 දක්වා වැඩි වෙනවා.
රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ගවලින් 43% ක් නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. නව නිෂ්පාදනාගාරයෙන් එය 70% දක්වා වැඩි වෙනවා. සෞඛ්‍ය සේවාව නොමිලයේ ලබාදීමට අවශ්‍ය සියලුම පියවර රජය ගන්නා අතර, රෝහල්වලට අවශ්‍ය ඖෂධ මාස 02 ක තොගයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග සමාගම් 24 ක් ඖෂධ නිෂ්පාදනය කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. තවත් සමාගම් 08 ක් ස්වාධීනව ඖෂධ නිෂ්පාදනය කිරීමට සූදානම්. තවත් සමාගම් 07 ක් ඉදිරියේදී ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා එක්වීමට නියමිතයි. මගේ බලාපොරොත්තුව 2018 අවසන් වනවිට ඖෂධවලින් 80% ක් දේශීයව නිෂ්පාදනය කිරීමයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් වැය වෙනවා. ඖෂධ කර්මාන්ත පුර ඉදිකිරීමට කළුතර, හොරණ සහ කුරුණෑගල ඉඩම් ලබාගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. සෑම ඖෂධයක්ම හිඟයකින් තොරව ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා" යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
රුපියල් බිලියන 1.5 ක පිරිවැයක් යටතේ ඉදිකිරීමට නියමිත මෙම නව නිෂ්පාදනාගාරය සඳහා ගිවිසුම් අත්සන් කිරීම විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ජපානය වෙනුවෙන් නිෂ්පාදනාගාරය ඉදිකරන ජපාන කතිමංසු සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකරු වන මොතොකෝ යොකෝසි මහතා විසින් අත්සන් කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

