'හුඟදෙනෙක් හිතුවා ජනාධිපති තුමා සහ අපි විරසකයි කියලා. මිනිසුනේ බෙලි අත්තෙන් ආව මා එක්ක විරසක වෙනවා නම් රජුනේ ඔබ විරසක නොවන්නේ කා සමගද? රජුනේ ඔබ මා සමග විරසක නැත. රජුනේ ඔබ මට ආදරය බව මම දනිමි. ඩි .ඒ රාජපක්ෂ දරුවන් මට ආදරෙයි. මම ඒක දන්නවා'. යැයි කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස යළි පත්වූ ආචාර්යය මර්වින් සිල්වා අමාත්‍ය වරයා ඊයේ (23දා) පැවසුවේය.
කැලණිය උපුල්වන් ශ්‍රී විෂ්ණු කෝවිල් පරිශ්‍රයේ සංවිධානය කොට තිබුණු විශේෂ උත්සවයකදී අමාත්‍යවරයා මෙසේද කීය.
"මම දැන් පරිණතයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය හමුවේ නාලාගිරි ඇතා දණ නැමුවා. සිරිපා සිපගත්තා. අන්න ඒ වගේ තනිවෙන්න දෙන්න නැතුව මාත් එක්ක ඉන්නේ මේ ඇමතිවරු ටිකදෙනා. සිද්ධාර්ථ කුමාරයා උඩුගම්බලා යන පාත්‍රය දිහා බලලා බුදුවන බව දැනගත්තා වගේ මම අද දැනගත්තා මම දැන් සශ්‍රීකයි කියලා. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. 'නහි වේරේන වේරානි' කියන බුදුහාමුදුරුවන්ගේ ධර්මය නිතර මෙනෙහි කරමින් කැලණියේ මෙතෙක් නැවතී තිබුණු සියලු වැඩ ශක්තිමත් කිරීමේ අවස්තාව මට ලැබුනා"යැයි පැවසීය.
මහාචාර්යය කඹුරුගමුවේ වජිර, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලදම්ම නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට මර්වින් සිල්වා අමාත්‍යවරයාට ආශීර්වාද කරමින් සහභාගී වූහ.
උත්සවය අවසානයේ එම ස්ථානයට පැමිණ සිටි දූදරැවන් සඳහා ත්‍යාග පිරිනැමීමත් පුජනීය ස්ථාන සංවර්ධනය කිරීම සදහා මුල්‍ය ත්‍යාග ලබාදීමත් අමාත්‍යවරයා අතින් සිදුවිය. එමෙන්ම මේ අවස්තාව සඳහා සරණ ගුණවර්ධන, කුමාර වෙල්ගම, පන්ඩු බණ්ඩාරනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ, ෆීලික්ස් පෙරේරා, රාජිත සේනාරත්න, ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු මැති ඇමතිවරු රුසක් සහභාගී වුහ.