කොයි චණ්ඩිත් එළියට බැස්සේ යුද්ධයෙන් පසුවයි
අමාත්‍ය මර්වින් සිල්වා
ආරක්ෂක අංශයේ සාමාජිකයන් යුද්ධ කරද්දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන අසන්නට නොලැබුණු බවත්, කොයි චණ්ඩිත් එළියට බැස්සේ යුද්ධය අවසන් වූවාට පසුව බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියා සිටියි.
'බොදු' යන වදනත්, 'සිවුර'ත් ඉවතලා ඕනෑම සංවිධානයක් හෝ බලසේනාවක් පිහිටුවාගත්තාට ගැටලුවක් නැති බව පවසන ඇමතිවරයා ආගම දඩමීමා කරගෙන අයුතු ප්‍ර‘යෝජන ලබමින් විරුවන්වීමට නිරර්ථක උත්සාහයක යෙදීම හෙළාදකින බව ‘ සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, 'තම ජීවිකාව පහසුකරගැනීමට කසාවත ඇඟට දමාගත් පුද්ගලයන් සමාජයේ වෙසෙනුයේ කසාවතට ඇති සමාජ පිළිගැනීම හා ගෞරවනීය තත්ත්වය උපයෝගී කරගෙන ධනය,බලය, කීර්තිය වැනි අතෘප්තිකර ආශා පහසුවෙන් තෘප්තිමත් කරගැනීමේ අදහසින්' බවයි.
"ආරක්ෂක අංශ නොවන්නට රටපුරා භීෂණය පැතිරගිය තිස් අවුරුදු යුද්ධය නිමාකරන්න ලැබෙන්නේ නැහැ. එම භීෂණය පැවැති යුගය තුළ අද කෑමොරදෙන ගලගොඩඅත්තේ ඥානසාර උන්නැහේ කෙනෙක් ගැන අපට අසන්නට නොලැබුණි. මේ කොයි චණ්ඩියත් එළියට බැස්සේ යුද විරුවන්ගේ කැපවීම මත රටතුළ ඇතිකළ සාමයෙන් පසුවයි" යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරයි.