යාල ජාතික වන උද්‍යානයේ ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවන ගැටලුකාරී තත්වයන් වැළැක්වීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණ කර තිබේ. ඒ අනුව පෙරහුරුවක් ලෙස වඩාත් සතුන් දැකගත හැකි වේලාව වන පෙ.ව. 6–9 දක්වාත්, ප.ව. 3–6 දක්වාත් ජංගම දුරකථන භාවිතය වැලැක්වීමට තීරණය කර තිබේ.
වනජීවී දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීමකට අනුව විදුලි සංදේශ නියාමන කොමිෂණ් සභාවේපාලන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඩයලොග් ඇක්සිආටා, මොබිටෙල්, හචිස්සන් හා එටිසලාට් ආයතන වෙත දන්වා ඇත්තේ 2015 ජූලි 20–26, 2015 අගෝස්තු 3–9, 2015 අගෝස්තු 17–23 හා 2015 අගෝස්තු 31– සැප්තැම්බර් 6 යන කාලසීමාවන් තුල ජංගම දුරකථන මඟින් සිදු වන බලපෑම් විශ්ලේෂණය කිරීම සඳහා ඔවුන්ගේ දුරකථන සේවා සැපයීම විසන්ධි කරන ලෙසයි. එම ආයතන මෙම ඉල්ලීම සඳහා එකඟතාවය පල කර ඇත.
මෙම ගැටලු සම්බන්ධයෙන් බොහෝ නරඹන්නන් වනජීවී දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. දිවියකු හෝ වෙනත් ආකර්ෂණීය දැක්මක් එක් වාහනයක් මඟින් නිරීක්ෂණය කරනු ලැබූ විට ජංගම දුරකථන මඟින් මෙය දසත පතුරුවන අතර, වාහන විශාල සංඛ්‍යාවක් එතැනට පැමිණෙනුයේ දැඩි තදබදයක් ඇති කරමින් සියලු දෙනාගේ වින්දනයට බාධා කරමිනි. එතැනට ලහි ලහියේ පැමිණීමට ඇති වුවමනාව නිසා බොහෝමයක් වාහන අධික වේගයෙන් පැමිණෙනුයේ මාර්ග නීති වලට අනුකූල නොවන ලෙසය. මෙය වනයේ සතුන්ට හා නරඹන්නන්ට අනතුරක් සේම නීති ගරුක නරඹන්නන් වනය නැරඹීමෙන් විනෝදාස්වාදය ලැබීම ද වලකනු ලබන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජංගම දුරකතන විසන්ධි කිරීම තුලින් යාල වන උද්‍යානයේ නරඹන්නන්ට මෙන්ම අවට ඇති හෝටල්, ව්‍යාපාර හා නිවාස වලට ද බලපෑම් සිදුවිය හැකි බව වනජීවී දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත. ඒ හරහා සිදුවන අපහසුතා පිළිබඳව දෙපාර්තමේන්තුව කනගාටුව ප්‍රකාශ කරයි.
එසේම ජංගම දුරකථන සේවාවන් අත් හිටුවීම සම්බන්ධයෙන් යම් අදහස් හා යෝජනා ඇත් නම් ඒ පිළිබඳව අධ්යක්ෂ ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, 811/ඒ, බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ යුතුයි.