යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තබා පළා ගිය සැකකරු පැදවූ යතුරු පැදිය අද (23) යාපනය අරියාලෙයි ප්රදේශයේදී දමා ගොස් තිබියදී හමු වූ බව යාපනය පොලීසිය පවසයි.
යාපනය නල්ලූර් කෝවිල අසළ මාර්ගයකදී යාපනය මහාධිකරණ විනිසුරු ගමන් ගත් මෝටර් රථය හරස් කොට පොලිස් ආරක්ෂකයින්ට වෙඩි තැබූ සැකකරු සමීපයේ සිටි කාන්තාවකගේ යතුරු පැදියක් පැහැරගෙන පළා ගියේය.
වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගිය අතර තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
වෙඩි තැබීම සිදු කළ සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලීසිය සැකකරන අතර ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.
මේ අතර වෙඩි තැබීමට විරෝධය දක්වමින් හෙට (24දා) දිනයේදී උතුරු පළාතෙ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමටත් යාපනයේ සියලුම නීතිඥවරුන් අධිකරණ කටයුතු වලින් ඉවත් වීමටත් පියවර ගෙන ඇත.